ඔන්න අද නම් මම කියන්න යන්නේ මීදුම්ට උනු එක අත්දැකීමක්.
ඔන්න මීදුම් පොඩි පෙළ එහෙම පාස් වෙලා මහ පෙළට කලේ ජීව විද්‍යාවලු. ඉතින් ඔය කාලෙ ගොඩාක් සුන්දර , ඒ වගේ ම දුක හිතෙන සිද්දිත් ගොඩාරියක් උනාලු.මේකත් ඒ වගේ උනු එක සිද්දියක්.
මීදුම් හිටිය පුරයේ මහ පෙළට ටියුෂන් තිබුනේ ගොඩාක් අඩුවෙන්. ඉතින් ලඟ තිබුණු මාණික්‍ය නගරෙට යන්න ඕන ටියුෂන් වලට. ලඟ කිව්වට ඉතින් පැය දෙකක් විතර බස් එකේ කොටන්න ඕන එහාට යන්න.
මීදුම්ගෙ බැච් එකේ පෙර පිනක්ද මන්දා ඒ අවුරුද්දෙ ම මාණික්‍ය නගරේ හිටපු නම් දරාපු සර්ලා සෙට් එකක් එයාගෙ පුංචි පුරේට ආවා. අපරාදෙ කියන්න බෑ ඒ සර්ල නිසා මීදුම්ගෙ පුරේ ගොඩක් අය සරසවි වරම් ලැබුවලු. මීදුම්ත් ඒ සෙට් එකේ ඉන්නවලු.
මේ සර්ලට නිවාඩු කාලයක් පේන්න බෑ. අමතර ටියුෂන් පන්ති දැම්මා මහපෙළ එපා වෙන්න ම. හැබැයි ඉතින් කට්ටියම මැදහත් සිතින් හැම පන්තියකටම සහභාගි උනා. ඒ කාලෙ සර්ලගෙ අම්ම අප්පට හචින් එකක් දෙකක් යැව්වට මොකෝ මීදුම්ත් ඒ පන්ති වලට ගියා.
අවුල කියන්නේ මේ පන්ති දැම්මේ මාණික්‍ය නගරේ. ඕක මහ එපා වෙන වැඩක්. සතියෙන් වැඩි දවස් ගානක් , බස් වල පැය ගානක් රස්තියාදු වෙවී එහාට යනේක තරම් එපා වෙන වැඩක් මීදුම්ට වෙන තිබුනේ නෑ.
ඔන්න ඕවා අස්සේ තමා එක දවසක් මීදුම්ගෙ රබර් ඇහැට මීටර් උනේ එයා යන රසායන විද්‍යා පන්ති එන ලස්සන ගැහැණු ළමයෙක්. මෙයාගෙ තිබුනෙ අමුතුම ලස්සනක්ලු. හැම පිරිමි ළමයෙක්ට ම මීටර් වෙන්නෙ නැති ලස්සනක්ලු මෙයාට තිබුනේ. අපේ මීදුම්ටත් ඉතින් ගොඩාක් සතුටුයිලු. හෙන ගේමක් දීලා එයාගෙ නමත් මීදුම් හොයාගත්තලු. එයාට තිබුනේ සංගීත භාණ්ඩෙක නමක්. අපි කියමුකෝ වීණා කියලා.
මෙච්චරකල් නාහෙන් අඬ අඬා පන්ති ආපු එකේ දැන් හේතුවක් තියෙනවනේ පන්ති එන්න. මේක පොඩී කණ්ඩායම් පන්තියක් නිසා වීණා දිහා බලා ඉන්න එක එහෙම එච්චර අමාරු උනේ නෑලු.පොඩි කිව්වට ඉතින් පන්තියෙ ළමයි පනහක් විතර හිටියා.
මීදුම් ඉතින් සර් ගාණක් එහෙම දුන්නම පට ගාලා හදලා මෙයා දිහා බලන් ඉන්නවලු. ඔන්න ඉතින් මෙහෙම ටික දවසක් යද්දි වීණාටත් මීටර් උනාලු මීදුම්කාරයගෙ රබර් ඇහැ. කෙල්ලත් ඒකට මොකද කියන්න එයාගෙ වගකීම් යුතුකම් හොඳට ඉටු කලාලු. තියෙනවා කියන හැට හතරෙන් එකක් දෙකක් දාද්දි මීදුම්ත් හිතුවේ වැඩේ ගොඩ තමයි කියලා.
කොණ්ඩෙ හදනවා, හොරෙන් බලනවා, හරහට බලනවා, කෙලින් බලනවා, ඇස් කොනෙන් බලනවා, වැඩ ගොඩායිලු ඉතින්.
ඔන්න ඔහොම සිතින් විතරක් පෙම් කර කර කාලෙ ගත උණාලු. අපේ මීදුම් හිතින් එක එක ඒවා හිතුවට වීණත් එක්ක ඕවා කියන්න තරම් හයියක් තිබුනේ නෑ. හැඟීමක් දෙකක් ආවට මීදුම් තාම පොඩි එකාලු. කිසිම අත්දැකීමකුත් නෑනේ.හිතින් විතරයි ඉතින් ඔක්කොම.
ඇරත් මීදුම්ට කොහොමහරි විභාගෙ පාස් වෙන්නත් ලොකූ උවමනාවක් තිබුනා. පන්තියේ ගැහැණු ළමයෙක් දිහා බලන් ඉන්නවා වගේ නෙවෙයිනේ ඉතින් 'දාගත්තම'.
ඔක්කොම හොයන්න බලන්න ඕන. යන යන තැන පස්සෙන් යන්න ඕන.වියදම් කරන්න ඕන.
ඕවා කරන්න තාම මීදුම් පොඩි වැඩියි කියලයි මීදුම් ඒ දවස්වල හිතන් හිටියේ.
කොහොම කොහොමහරි මහපෙළ විභාගෙත් ළං උනාලු. පන්ති වල ඉතින් අන්තිම දවසකුත් තියෙනවනේ. විභාගෙන් පස්සේ කට්ටිය හොයාගන්නවත් නැතිවෙන නිසා පන්තියේ සර් යොජනා කල පරිද්දෙන් විභාගෙට කලින් ම පාටියකුත් තිව්වා.ඔන්න ඕකෙදි තමා මීදුම්ට ලස්සන වැඩක් උනේ.
කට්ටිය කන බොන අතරෙදි ඉතින් ගුණ වර්ණනා, ශෝක ගායනා එහෙම තියෙනවනේ. ඕවා කෙරීගෙන යද්දී වීණත් නැගිටලා මීදුම්ටත් ඉඟියක් දාලා පන්තිය ඉස්සරහට ගියාලු.
පටන් ගත්තලු ගීතයක්.
"අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රළ කෙතරම්
එතරම් මිහිරියි ඔබ මට නම්
හිත ලඟ පෙම්බරකම් සඟවා
යන එන මග ඉඟි බිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි සතුරන් "
ගීතයේ ඔය පද ටිකෙන් පස්සෙ මීදුම්ට මොනවත් ඇහුනෙ නෑලු. ඇරත් වීණා ඔය ටිකත් කිව්වෙ අපේ අහිංසක මීදුම්ගෙ මුහුණ දිහා බලාගෙනලු.
ඒ විතරක් නම් මදෑ. වීණා ගීතය කියලා ඉවර වෙනවත් එක්ක ම පන්තියේ ගැහැණු ළමයින්ගෙ පැත්තෙන් මීදුම්ට පොඩි චිට් එකක් ආවලු
"මීදුම් , වීණා කියපු සින්දුව හරි ලස්සනයි නේද ??? " කියලා.
No comments:
Post a Comment