Showing posts with label අනේ අනිච්චං.... Show all posts
Showing posts with label අනේ අනිච්චං.... Show all posts

Tuesday

මොන්ටිසෝරිය

අවුරුදු තුන හතරකට පස්සෙ මීදුම්ට ඉස්පාසුවක් ලැබුනෙ ඊයෙ පෙරේදා. ඒ මීදුම්ගෙ ජීවිතේ මුහුණ දුන්නු අමාරුම විභාගයක් අහවර වුණු හින්දා... මෙච්චර කල් නැවතිලා තිබ්බ බ්ලොගයට ආයෙත් එක දෙක ලිපි හෙමීට හෙමීට එකතු වේවි.
කියන්න නම් කතා බොහොමයි.
අද මීදුම්ගෙ පුංචි කාලෙ සිද්ධියක් කියන්නම්.

මීදුම්ගෙ අම්මයි තාත්තයි දෙන්නම රජයේ ‍රැකියාවල් කරන්නේ. ඉතින් පුංචි මීදුම්ව ඒ කාලෙ බලාගන්න කවුරුත් හිටියෙ නැති හිංදා වයස අඩුවෙන්ම මෙයාව ගමේ මොන්ටිසෝරියට දැම්මා.

දැං කාලෙ වගේ ඒ කාලේ ඩේ කෙයා සෙන්ටර් තිබ්බෙ නෑනෙ.

කොහොම හරි මොන්ටිසෝරියේ හිටපු බාලම ළමය තමයි මීදුම්. ඒ කාලෙ මීදුම් කියන්නෙ හරි චන්ඩියා.මිනිහා තමයි පොර. මොනවා කරන්න ගියත් එයාට දිනන්නමයි ඕන. පරදින්න නම් කීයටවත් කැමති නෑ. ඔන්න එක දවසක් මේකට අභියෝගයක් එල්ල උණා.
මොන්ටිසෝරියේ තිබුණා සෙල්ලම් බඩු. මෙව්ව හම්බෙනවා කියන්නෙ ඉතින් ඒ කාලෙ රටක් රාජ්ජයක් හම්බුණා වගේ තමා. කෑම පෙට්ටියේ බත් ඉවරෙටම කාපු , චිත්‍රෙ ඇඳලා ඉවරෙටම පාට කරපු, අකුරු ලස්සනට ලියපු අයට තමා මෙව්ව අත පත ගාන්න වරප්‍රසාද හිමි වෙන්නේ. ඒ කාලෙ ඉතින් එහෙම වරප්‍රසාද  හිමිවෙන්නේ දවසටම එක්කෙනෙක්ට දෙන්නෙක්ට තමා. හප්පේ බලන්න එපායැ ඒ වෙලාවට උන්ගෙ ගෑස්. උන් කෙලින්ම වී අයි පී ලිස්ට් එකට දමා එදාට වැටෙන්නේ. සෙල්ලම් බඩු අනිත් එවුන්ට අත පත ගාන්න හම්බෙන්න නම් අරූව ශේප් කරගන්නත් එපැයි. ඉතින් ඌට මාරෙට සැලකිලි.

මීදුම් මොන්ටිසෝරි යනකොට එයා චූටිම චූටියි. එයාට ඔය අයියලා අක්කලා කරපු කිසිම දෙයක් බෑ. ටීචත් එයාට ගොඩාක් ආදරේ නිසා මේ සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කරන්න මීදුම්ට හැමදාම වගේ අවස්තාව ලැබුණා. මේක අනිත් අයට එච්චර දිරෙව්වේ නැති උණත් මහන්සියෙන් ඒ තැන ලබාගන්නයි හැමෝම බැලුවේ.

හැබැයි මේකෙ පොඩි අවුලක් නම් තිබ්බා . සෙල්ලම් බඩු දෙන වෙලාවට ඔක්කොම සෙල්ලම් බඩු මීදුම් එයා ගාව තමා තියගත්තේ. වෙන එකෙක් ඒ ළඟින් ගියත් මීදුම් බෙරිහන් දීල බඩුටික තමන් ගාවට ඇදලා  ගන්නවා. එච්චර සෙල්ලම් බඩු ගොඩක් එක්ක සෙල්ලම් කරන්න තියා හිතන්නවත් බැරි වුණාට මීදුම් නෙවේ මේක තේරුම් ගත්තේ.
ඔන්න දවසක් මින්ද කියලා හාදයෙක් බත් ටික ඔක්කෝම කාල ටීචර්ට කෑම පෙට්ටිය පෙන්නලා අමාරුම කඩුල්ල පැනගෙන ආවා තමන්ගෙ හීන ලෝකෙ හොයාගෙන. ඒ කිව්වේ සෙල්ලම් බඩු ටික ගන්න. මිනිහ කොහොම හරි පරක්කු වැඩියි එද්දි. මීදුම් දැනටමත් ඒ ටික අයිති කරගෙන කඩ මුදලාලි වගේ වටේම තියාගෙන වටේ පිටේ එවුන්ට ‍රැවුම් ගෙරවුම් දානවා.
මින්ද එව්වා සත පහකට ගණන් නොගෙන ගත්තා සෙල්ලම් බඩු ටිකක් අතට. මෙන්න සුපුරුදු ලෙස මීදුම් අඳෝනාව පටන් ගත්තා. කෑගහගෙන ඇවිල්ලා සෙල්ලම් බඩු ටික උදුර ගන්න හදනකොට මින්දත් නිකං බලා හිටියේ නෑ.
කොච්චර උණත් පොඩි එකාගෙ ඉවසීමටත් සීමාවක් තියෙනවනේ. මින්ද, මීදුම්ට එරෙහිව යුද ප්‍රකාශ කලා. මීදුම්ට ඔව්ව තේරෙන එකක්යෑ. මිනිහගෙ ඇස් දෙක තිබ්බෙ මින්දගෙ අතේ තිබ්බ සෙල්ලම් බඩු ටිකේ. අරටික උදුරගන්න හදද්දී මින්ද පැනපු ගමන් මීදුම්ගෙ ඇඟිලි හපාගෙන හපාගෙන ගියා. මතක හැටියට නම් ඇඟිලි එක දෙකක ලේත් ආවද කොහෙද. මීදුම්ට ඉතින් සැහෙන්න රිදුණලු.

මොන්ටිසෝරියෙ ටීචර් චණ්ඩි මීදුම්ගෙ ඇඬිල්ල නවත්ත ගත්තේ ඇඟිලි දහයටම සෙල්ලම් මුදු දහයක් දාලා එව්ව මීදුම්ගෙ නිත්‍ය අයිතියට පත් කරනවා කියන පොරොන්දුවත් වුණාට පස්සේයි. කොහොම හරි එදා මීදුම්ව එක්කන් යන්න ආපු අම්මටත් මේ සිද්දිය ආරංචි වෙලා එදායින් පස්සෙ මීදුම්ව මොන්ටිසෝරිය පැත්ත පළාතෙ එක්කන් ආවෙ නෑලු. එදාඉඳන් ඉස්කෝලෙ යනකන්  මීදුම්ට උණේ අම්මගෙයි අප්පච්චිගේ ඔ‍ෆිස් ගානෙ තපින්න.



මින්ද එදා ඉඳන් අද වෙනකන් මීදුම්ගෙ හොඳ යාළුවෙක්. දැන්නම් මිනිහගෙ ළමයිනුත් මොන්ටිසෝරි යනවද කොහෙද...


මේක තවත් සිද්ධියක්. ඒත් මීදුම්ගෙ චණ්ඩිකම හින්දා වුණු වැඩක්.
මොන්ටිසෝරියෙදි මීදුම් හිටියේ තමන්ට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් අය එක්කනේ. මීදුම්ට ඒ ගැන කිසිම වැටහීමක් තිබ්බෙ නෑ. ගමේ බණක් , දානයක් , උත්සවයක් තිබ්බ වෙලාවට මීදුම්ගෙ 'සෙට්' එක වුණේ මේ මොන්ටිසෝරි අයියලා අක්කලා ටික.
ඔන්න එක දවසක් ගමේ ඉස්කෝලෙ අවුරුදු උත්සවයක් තිබුණා. ඒකේ තිබුණු තරඟ වලට එහෙම සහභාගී වෙලා කට්ටිය මහන්සියටත් එක්ක ලොරියකට නැගලා උඩ ඉඳන් අවුරුදු උත්සවයේ අනික් දේවල් වලට හුරේ පාර දාගෙන හිටියා. ලොරියේ පිටිපස්ස අයිති කරගෙන වගේ හිටියෙ මේ මොන්ටිසෝරි සෙට් එක. මේ අස්සේ ඔන්න පැත්තක යනවා කොට්ට පොර තරගේ. එව්වට නම් ඉතින් මොන්ටිසෝරි ඇච්චො බැච්චන්ට ළං වෙන්නවත් නෙවේ ඉඩදුන්නෙ වටේ හිටපු අයියලා සෙට් එක. මේකටත් කේන්ති පිට තමා කට්ටිය ලොරි තට්‍ටුවට නැගලා හිටියෙ තරගෙ දුර ඉඳන් හරි හොඳට බලන්න.
මේ අස්සේ එකෙක්ට ආවා මරුම මරු අදහසක්. ඒ ලොරියෙ තට්‍ටුව උඩම මොන්ටිසෝරි එවුන්ගේ ෆයිට් එකක්. කාටද කොට්ට ඕන. අපි අතින් පයින් ඩෝ කියාගෙන කට්ටියත් ලෑස්ති උණා එක පයින්.

අදහස දැම්මෙ 'නෙත්' කියලා හාදයෙක්. මිනිහාමොන්ටි සෝරි උණාට තිබුණෙ නම් ඉස්කෝල ඇඟක්.

අදහස දැම්මේ මිනිහා නිසා පලවැනි වටේට මිනිහ නිතරගෙන්ම ආවා. එරෙහිව ආවෙ මින්ද. ශොට් දෙකයි මින්ද බිම. මිනිහා ශේප් එකේ ගිහින් වාඩි උණා. කකුල නම් තුවාල වුණා. ඒ වුණාට අඬලා පුළුවනෑ. මේක ගමේ මොන්ටිසෝරි පයිට් එක නොවැ.
නෙත් නොසැලී ලොරි තට්‍ටුව උඩ. තවත් එකෙක් ආවා. එක ශොට් එකයි මිනිහත් එළියේ.
මීදුම්ට දැන් කිරිපණු ගාය වගේ. නෙත් මොන්ටිසෝරි වීරයා වීගෙන එන එක මිනිහට අල්ලන්නේ නෑ. දැන් නෙත් ව හුරතල් කලා ඇති කියලා මීදුම් බැස්සා තෙවැනි තරඟකාරයා විදිහට. මතක හැටියට මීදුම් ශොට් දෙකක් විතර ගැහුවා. ඒත් ඊට හරියන්න පොළියත් එක්ක මීදුම්ට මූණ කට පුරා බඩ පිරෙන්න හම්බුණා. නාහෙට කෙළින් ම පාරක් වැදුණා. මීදුම්ගෙ ඇස්වලින් කඳුලු වැක්කෙරෙනවා. එකක් වැදුණු පාරෙ සැරට. වැඩිහරියක්ම මොන්ටිසෝරි ජනීජනයා ඉස්සරහ වුණු අවමානෙට.

දැන් මේකෙන් බේරෙන්න විදිහකුත් නෑ. පැරදිලා ගිහින් ඉඳගන්නත් ලැජ්ජයි . තීරණයක් ගන්න විදිහකුත් නෑ හෝ ගාල එක පිට එක නෙත්ගෙ මිට මෙළවුණු අතින් මීදුම්ට ප්‍රහාර.

කඳුලු අතරින් මීදුම් දැක්ක මීදුම්ගෙ අප්පච්චී ලොරිය ගාවින් යනවා. මීදුම් දුවගෙන දුවගෙන ගිහින් අඬාගෙන අප්පච්චිගෙ කරට පැන්නා. ඒ හරහා කෙළින්ම ගෙදර ගියපු මීදුම්ට අවුරුදු උත්සවේ එතනින් එහාට මොනවා උණාද කියලා දැනගන්න ලැබුනේ නම් නෑලු.

Monday

ඌරෙක් නිසා 3 _ එකයි පනහේකෑලි දෙක


ඌරත් එක්ක තියෙන ‍ෆිට් එකට දවල් කෑම එකත් නොකා ගිය මේ කට්ටිය බස් ස්ටෑන්ඩ් එකට වෙලා මහා පරිමාණ කයි දිදී ඉන්නවලු.ඔහොම ඉන්නකොට තමා කට්ටියට මීටර් උනේ පන්තියෙන් එලියට බැහැපු තරම් සෙනගක් ස්ටෑන්ඩ් එකට ඇවිත් නෑ කියලා. ඒත් මොකෝ, ඇවිත් ඉන්න දහ පහලොස් දෙනා වැඩිත් එක්කනේ මේ කොහේවත් යන පඟර නැට්ටෙක්ට ගහන්න.ඉක්මනට ගහන්න තියෙන මගුලක් ගහලා ඉක්මනට පන්තියට යන්නයි දැන් කට්ටියට ඕන. මොකද පොඩ්ඩක් හරි පරක්කු උනොත් ඉතින් වහ කනවා හොඳයි. මිස් ඒ තරමටම සැරයි.
කට්ටිය මෙහෙම ඉද්දි ඔන්න ඈතින් අරූ එන කතාවක් ඌර කිව්වා. අපිත් බැලුවා මොකාද අද අපෙන් කන්න නියමිත එකා කියලා. ටිකක් දැකලනම් පුරුදුයි පුරුදුයි වගේත් එක්ක.ඔන්න එතකොට අපේ එවුන් එක එකා කසු කුසු ගාන්න පටන් ගත්තා. මීදුම්නුත් කතාවකට හොට දැම්මෙ අරූට කොහොම පටන් අරන් කොහොම ගහනවද කියලා දැන ගන්න. ඒත් අහන්න උනේ ඒ විදිහෙ කතාවක් නම් නෙවෙයි.
අපේ එකෙක් ඉඳන් කියපි
"මචං , අරූ අර හැම වෙලේම ටවුන් එකේ ඉන්න එකෙක් නේද ? උගෙ ගෙවල් තියෙන්න අන්න අතන..." කියලා ලග පාතක තිබ්බ ගෙදරකුත් පෙන්නුවා.
කට්ටියටම හීන් දාඩිය දාන්න පටන් ගත්තෙ එතකොට. ඌරත් අසරණ අහිසකයා වගේ බලන් ඉන්නවා. අපිත් ඌ දිහා බොහෝම සානුකම්පිත බැල්මකින් බැලුවේ "බොහොම ස්තූතියි මචං" කියලා කටින් කියාගන්න බැරි නිසා.දැන් ඉතින් මොනවා කරන්නද. කන කෑමක් එකට කමු කියලා කට්ටිය එක ලගට වෙලා හිටියා.
ඔන්න අරූ දැන් ලඟටම ඇවිත්. ටවුන් එකෙන් බාගයක් විතර උගෙ වටේ. අපි ලඟ තිබ්බ අඹ ගහේ ඉදුණු අඹ තියෙයිද කියලා බල බල හිටියේ. කොහොමත් හොඳට බඩ කට පුරා කන්න වෙන එකේ අඹ ගෙඩියකුත් කෑවට මක් වෙනවද ?
අරූ අපේ ලඟට ඇවිත් ඌරට කතා කලා .
"මචං, උඹද ඌරා කියන්නේ ? "
"ඔව් , මං තමයි, මොකද ?"
"උඹත් එක්ක පොඩි ප්‍රශ්ණයක් තියෙනවා විසඳගන්න, පොඩ්ඩක් වරෙන්..."
මෙහෙම කියපු අරූ අපේ ඌරව අරන් ගියා.
අපිත් ගියා.
ඌරා කිව්වා "එන්න එපා මචං, මං මූත් එක්ක කතා කරලා විසඳගන්නම්" කියලා.

කිව්වත් වගේ විනාඩි පහෙන් ඌරා ආවා. ඌ නම් කිව්වේ කිසි ප්‍රශ්ණයක් උනේ නෑ, කතා කරලා විසඳගත්තා කියලා. ඒත් හැබැයි ගියාට වඩා මුගෙ මූණ පොඩ්ඩක් ඉදිමිලා කම්මුල දෙපැත්තෙම ඇගිලි පාරවල් තිබ්බා. අපි හිතුවේ ඌරට අරූව ඇලජික් වුණාවත්දෝ කියලා. ඒත් ඌරා කිව්වෙම කිසිම ප්‍රශ්ණයක් නෑ කියලා. හොඳම පාට් එක තමයි එනකොට මුන් දෙන්න ආවෙත් කරට අත් දාගෙන. ඒ නිසයි අපිට තේරුණේ ඌරා ඌටම ආවේණික විදිහකට ප්‍රශ්ණෙ විසඳගෙන කියලා.
ඔන්න අපි නූලෙන් බේරිලා ආයෙත් පන්තියට ගියා. යනකොට පැයකටත් වඩා පරක්කුයි. අපිට පස්සෙයි තේරුණේ අරුන්ගෙන් ගුටි කාල ඉස්පිරිතාලෙ නැවතුනා නම් සැපයි කියලා. ඒ වෙලාවෙ එපාම උණු වැඩේ තමයි වලියට එනවා කියලා කට්ටියව දිරිමත් කරලා අන්තිමට කට්ටි පැනපු එවුන් ටික, අපිට බනිද්දි හිනා වෙච්චි එක.
එදායින් පස්සෙ අපේ පන්තියේ සෙට් පිටින් බැහැලා වලිවලට යන එක නැවතුනා. මොකද එකෙක්ටවත් ෂුවර් නෑ අනික් එවුන් එයිද කියලා.
මේ වැඩේ උනු අපේ ඌරා දැන් පෞද්ගලික කැම්පස් එකක ඉගෙන ගන්නවා.
එදා  ඒ ප්‍රශ්නෙට අදාළ වුණු එකයි පනහේ කෑල්ල දැන් කොලොම්පුරේ කැම්පස් එකේ හොඳ අංශයක ඉගෙන ගන්නවා.
මීදුම්ට ලඟදී මෙයාව හම්බුනා මීදුම්ලගෙ මළ
ගෙදරකදි . ඉස්කෝලෙ කාලෙ ගනන් උස්සන් හිටියට මොකෝ මේකි පැන්න ගමන් මීදුම් එක්ක කතා කලා. ඒ වෙලේ තමා මීදුම් දැන ගත්තෙ මේ උන්දැ මීදුම්ගෙ දුරින් නෑදෑයෙක් වෙන විත්තිය...

Thursday

ඌරෙක් නිසා 2 _ එකයි පනහේකෑලි දෙක


මීදුම්ට එහෙම ඒ දවස්වල ඉස්කොලෙ හවස පන්ති තිබුණා. ඉස්කෝලෙ හිටපු ගුරුවරුන්ගෙ හොඳකමට තමා ඉතින් හවස පන්තිත් දාලා විෂයනිර්දේශය ආවරණය කලේ. මේ විදිහට තිබුණු එක පන්තියක් තමා අපේ පන්තිභාර මිස්ගෙ විද්‍යාව පන්තිය. 
මෙන්න මේ පන්ති දවසක තමා අපේ අහිංසකඌරා වගේම මීදුම් ඇතුලු පන්තියෙ අනික් පිරිස විද්‍යාව පාඩමට අමතරව වෙන හොඳ පාඩමකුත් ඉගෙනගත්තේ.

අපි කට්ටිය ඉතින් දිග කලිසං අයියලනේ. ඒ නිසා කොට කලිසං කාලෙ වගේ උදේට ක්‍රිකට් ගහන්නෙ නෑ. මොකද කලිසම ජරා උණොත් කෙල්ලෙක්වත් බලන්නෙ නෑනේ.කට්ටිය එහෙම හිතුවට ඉතින් මේ සෙට් එක දිහා ඒ දවස්වල මැස්සෙක්වත් බලන්නෙ නෑලු.ඒ කොහොම උණත් ඉතින් උදේ පාන්දර කට්ටිය කරන්නෙ පිට්ටනිය ගාව තියෙන සුපුරුදු අඹ ගහ ගාවට වෙලා ජෝන් සීනාගෙ වැඩයි, vice city වල අලුතෙන් හම්බුණු password ගැනයි, එක එක චිත්‍රපට ගැනයි කතා කර කර ඉන්න එක.ඒ දවස්වල හිට් උනේ එව්වා. crysis series, mostwanted , assasin's creed series, battlefield series එතකොට එන්න හිතලවත් තිබ්බෙ නෑ

එදා හවස විද්‍යාව පන්ති තියෙන්න තිබ්බ දවසක්. අර මානවිකාවියගෙ ගෙදරට කෝල් කරලා දවස් දෙක තුනක් ගතවෙන්නැති,මෙන්න උදේ පාන්දර අපේ ඌර එනවා අඹ ගහ යටට හොම්බත් ඇද කරගෙන.
"ආ ගුඩ් මෝනිං මචං, මොකෝ නිකං අවුලෙන් වගේ ?"
"ගුඩ් තමා බන්, මටනම් බෑඩ් මෝනිං"
"ඇයි බන්, මොකෝ අවුල?"
"අද නම් අම්බානක කන්න වෙනවා මට"
"මොනවද ? කොකිස්ද නැත්තං කැවුම්ද ? හැබැයි තාම ලඟපාතක අවුරුදුනම් නෑ"
"ජෝක් නෙවේ බන්. කන්න වෙන්නෙ ගුටි"
"ඉතින් වටේ යන්නෙ නැතුව කියපන් මොකෝ අවුල කියලා"
"උඹලා දන්නවනෙ අර චිංචි මානවිකාව"
"කවුද අර උඹේ එකයි පණහේ කෑලි කෑල්ලනේ"
"ඔව් බං. වෙන කවුද"
"ඉතිං ඉතිං මොකෝ කේස් එක?"
"ඒකිට වෙන එකෙක් ඉන්නවා බන්."
"ආ ඒකද මේ මූණ නිකන් පරණ සත පහ වගේ හදාගෙන්න ඉන්නේ?"
"නෑ බං, ඒකිට එකක් නෙවේ, හැටක් හිටියත් එකයි මට"
"එහෙනම්?"
"ඒකිගෙ කොල්ල අද මට ගේමක් සෙට් කරලා. දවල් 2ට ටවුන් එකේ ස්ටෑන්ඩ් එකට එන්න කිවුවා."
"ආ එහෙම කෝමද අපේ කොල්ලෙක්ට ගහන්න දෙන්නේ හහ්..."

ඕන්න ඉතින් අපේ කට්ටිය තුල සැඟවෙලා තිබ්බ පුරුෂ ශක්තිය එලියට පැන්නා. දිග කලිසං උණත් ඔලුවට ගහලා තිබ්බ නිසා ඒක තවත් දෙගුණ තෙගුණ උණා. එදා දවසම ඉතින් කට්ටිය අර කොල්ලගේ සෙට් එකට පන්න පන්න ගහන එක ගැන තමා කතා කලේ. පන්තියේ හිටපු චන්ඩීන් යැයි නම් ලබපු අයගේ මෙහෙයවීමෙන් සටන සැලසුම් කෙරුනා. කවදාවත් සෙට් වලියකට මුහුණපාල නැති මීදුම්නුත් මේකට සෙට් උණා. මොකද ඒ දවස්වල මිනිහගෙ ඔලුවටත් ඔය දිගකලිසං උණ ගහලයි තිබ්බෙ.
ඌරගෙ සතුරා මීදුම්ගෙ පුරේම වෙන ඉස්කෝලෙක එකෙක්. කට්ටිය මිනිහා ගැන දන්න එකම තොරතුර උගෙ ඉස්කෝලෙ විතරයි. එන ඕන එකෙක්ට අපි බය නෑ කියන උදාර වාක්‍ය පෙර‍ටුකොටගෙන සටන සැලසුම් කරපු මීදුම්ගෙ පන්තියෙ හැමදෙනාම (ගෑණු ළමයි නැතුව) ඕන්න ඉස්කෝලෙ ඇරුණු ගමන් දඩි බිඩිගාලා අදාල සටන් පොලට දිව්වා. මොකද හවස විද්‍යාව පන්තිත් තියෙනවනේ. ඒකට පරක්කු වෙනවට වඩා හොඳයි වහ කන එක. මොකද මීදුම්ගෙ පන්තිභාර මිස්ට කවමදාවත් ම චූට්ටක්වත් කේන්තියන්නෙ නෑලු.( ඇත්තම කිව්වොත් ඒ තමා ඉස්කෝලෙටම හිටපු සැරම මිස්)

...මතු සම්බන්ධයි...
    

Saturday

ඌරෙක් නිසා 1 _ එකයි පනහේකෑලි දෙක



ඕන්න යාලුවනේ කාලෙකට පස්සේ මීදුම් ආයෙත් ආවා. එයාට පොත්පත් වල වැඩ ඒ කිව්වෙ ඉතින් අධ්‍යාපනික වැඩ ගොඩාක් ආවා එක දිගටම. ඒකයි සිත්තම් අඳින්න ඉස්පාසුවක් නැති උනේ. ඒ ගැන විස්තර ඉස්සරහට කියන්නම්කෝ.
අද මීදුම් කියන්න යන්නේ එයාට ඉස්කෝලෙ යන කාලෙ උනු එක්තරා අකරතැබ්බයක්. අකරතැබ්බය ඇත්තටම උණේ මීදුම්ට නෙවේ. එයාගෙ පන්තියේ හිටපු යාළුවෙකුට. එහෙම කිව්වට ඉතින් පන්තියේ හිටපු ගොඩක් අය ඒ යාළුවා නිසා නියම කට්ටක් කෑවා. ඉස්කෝලෙ යන කාලෙ කන තරමක් ක‍ටු කන්නෙ යාළුවො නිසානෙ නේද යාළුවනේ. ඒකට අපි කිව්වෙ 'බොකු ‍ෆිට්' එක කියලා. ඒ කියන්නෙ බොක්කෙන් ම ‍ෆිට්.
මේ සිද්ධිය උනේ මීදුම් පොඩි පෙළ කරන්න ආපු අළුතම වගේ. ඒ කාලෙ මීදුම්ගෙ සෙට් එකට අමුතු අමුතු  උණවල් ගහලයි තිබ්බෙ. මොකද ඒ කාලෙ තමා මීදුම් එහෙම 'කොට කලිසං' කාලෙන් 'දිග කලිසං' කාලෙට පැන්නේ.ඔය කාලෙට ඉතින් කොහොමත් කාට කාටත් එක එක උණවල් හැදෙනවනේ. මොකද අවුරුදු දහයක් විතර 'කොට කලිසං' ඇඳලා එක පාරටම 'දිග කලිසමට' බැස්සම අමුතුම අය්යා පාර්ට් එකක් ඔලුවට වදිනවා. හරියට නිකං ක‍ටුස්සගෙ කරේ රත්තරං බැන්ඳාවගේ.
ඔව්ව ඉතින් කොහොමත් බොහොම සාමාන්‍ය දේවල්.
ඒ කාලෙට කට්ටියට හැදෙන එක උණක් තමයි මේ පවුලක් පන්සලක් ගොඩනගාගන්න ඕන කියන එක. අතේ සතපහ නැති උනාට මොකද දිග කලිසම ඇඳගත්තම සමහරුන්ගෙ හිතේ ඔක්කොම හරි කියලා. මෙන්න මෙහෙම හිතපු කෙනෙක් තමා 'ඌරා'. (මිනිහගේ සැබෑ නමේ සාරයෙන් මිදුම්ලා එහෙම ගොඩනගාගත්තු නම තමයි 'ඌරා' කියන්නෙ. මෙහෙම කිව්වට මොකෝ මිනිහගෙ ඇඟේ මස් කලඳක් නෑ.)
ඌරා අපිත් එක්ක ඉන්න ගමන් හී සර පාර විදලා තියෙන්නේ අපිට වඩා වයසින් අඩු පන්තියක හිටපු මෙනෙවියකට. මේ මෙනෙවියත් එසේ මෙසේ එක්කෙනෙක් නෙවෙයි. අමුතුම ඇවතුම් පැවතුම් තිබුණු මානවිකාවක්.
මේ මෙනෙවියට හිටියා නියම ම යාළුවෙක්. ඔලුවටත් වඩා ලොකු කණ්නාඩි දෙකක් දැම්ම නිසා කට්ටියට එයාවත් හොඳට නෝට්. මේ දෙන්නා එකට තමා කොහේ ගියත්  යන්නේ.
කොහේ ගියත් කිව්වට ඉතින් මේ දෙන්නගෙ වැඩේ ටොයිලට් යන එක.
එක එක පීරියඩ් එකක් ඉවර වෙනකොට ම මෙන්න ඩබල ටොයිලට් යනවා. ඒ ගියාට ටොයිලට් එක ලඟට ගිහින් මුන් දෙන්නා ආයෙත් හැරිලා එනවා මීදුම්ගෙ යාළුවෝ  ඕනි තරම් දැකලා තියෙනවලු. පස්සෙ තමා කට්ටියට මීටර් උනේ දිග කලිසම් ඇන්දෙ නැති උණාට ඒ මානවිකාවියන්ටත් පවුලක් පන්සලක් වෙන්න ඕනය කියන අධිෂ්ඨානය ඇවිත් කියලා. කට්ටියටම පේන්න තමයි මේ නිතරම එහා මෙහා යන්නේ. මොකද එයාල ඉන්න පන්තියේ ඉඳන් අර මම කිව්ව ගමන යනකොට ඉස්කෝලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය කරන්න ඒ දෙන්නට පුලුවන්. පස්සෙ පස්සෙ මේ දෙන්නට කට්ටිය ගහපු පට්ටම තමා 'එකයි පණහේ කෑලි දෙක' කියන එක.මොකද කට්ටිය හිතන් හිටියේ මුන් දෙන්න හරි ලාබයි කියලා. පස්සෙයි තෙරුණේ හිතපු තරම්ම ලාබත් නෑ කියලා.
ඉතින් ඔන්න අපේ 'ඌරා' මේ දෙන්නගෙන් අර කණ්නාඩි නොදාපු මානවිකාවියට තමන්ගෙ හද මඬලේ බුර බුරා නැගෙන පිවිතුරු වූ අවංක නිසසල නිකැළැල් සිතුවිල්ල පවසලා. කෙල්ල මේකට පැන්න ගමන් "බැහ්" කියලා. ඒ ඉතින් කොහොමත් ඒ වර්ගයේ හැටිනේ.
අපේ ඌරත් පසුබට වෙලා නෑ. ඌත් එඩිතරව නොපැරදී මුහුණ දීලා. කොහොම කොහොම හරි මානවිකාවියගෙ ගෙදර ෆෝන් නම්බර් එක හොයාගෙන රෑ ජාමෙ කෝල් එකකුත් දීලා. අපේ ඌරගෙ ඌරු කමට මක් කරන්නද. යන්තම් උගේ වෙලාවට අනික් පැත්තෙන් කතා කරලා තියෙන්නෙත් අර මානිවිකාවියමයි. මූට දිව උලුක් වෙලා කතා කරගන්න බැරිව "හක් බික් බුක් බග් බග්" කියලා තප්පුලලා. කොහොම කොහොම හරි අර මානවිකාවිය කටහඬ අඳුනගෙන.
"හහ්, තමුසෙට කරන්නම් වැඩක්" කියලා කට් කරලා.

...මතු සම්බන්ධයි...

Wednesday

හීන් සැරය 3 _ ඇති යන්තන් ඔයිං ගියා.

යාළුවන්ට මතකනේ එදා උදේ පන්තියෙදි අපේ මීදුම් යාන්තං ඇග පත බේරගෙන ශේප් උන හැටි.
හැබැයි එදා හවස මීදුම්ට එයාගෙ අලුත් මෙගා class එකත් තිබුනනේ. උදේ ගණන් පන්ති ඉවර වෙලා සජීවී සටන් ජවනිකා නරඹපු මීදුම් ඔන්න ඊට පස්සෙ හවස විද්‍යාව පන්තියට පිටත් උනාලු.
හවස පන්තියට වෙනම ම බස් එකක මීදුම්ගෙ පුරේට යන්න ඕන.උදේ ගණන් පන්ති ඇවිත් හවස මීදුම් යන පන්තියටත් යන පරණ යාලුවෙකුත් සෙට් උනාලු මේ අතරෙදි. බස් එකේ යන ගමන් දැන් දෙන්නා බර කතාව. (මේ අලුත් යාලුවට අපි සාන්ද්‍ර කියමු. මොකද එයාගෙ ඇත්තම නමත් උනේ ඒ වගේ එකක්. මෙයා වෙන ඉස්කෝලෙක කෙනෙක්. බ්‍රේක් යන ඉස්කෝලෙ තමා සාන්ද්‍රත් ගියේ.)
"අද මරු ගේමක් නේද මචං ගියේ"
"ආයෙත් අහලා... ආයනම් මචං උං ඒ ගම පැත්ත දිහා බලන් බත් කන එකක්වත් නෑ... හි හි හී"
"තව ඩිංගෙන් මාත් කනවනේ ඔය වගේම කෑමක් "
ඔන්න ඉතින් ඊට පස්සෙ මීදුම් සියලු සබ්බ සකලමනාවම සාන්ද්‍ර ඉදිරියේ දිග ඇරියා.(මීදුම් කොහොමත් විවෘත කෙනෙක්. එයාගෙ ජීවිතේ රහස් නෑ .අනේ ඒ උනාට යාලුවන්ගෙ රහස් නම් කවදාවත් පිට කරන්නෙත් නෑලු )
ඔය අතරෙදි බ්‍රේක් කාරයා අර හයි ෆයි පොරට මීදුම් සද්දෙ දාපු සිද්දිය කියනවා කිව්ව එකත් මීදුම්ට කියවුනා.එතකොට සාන්ද්‍ර ඇහුවාලු ඇත්තටම බ්‍රේක් එහෙම කියනවා කිව්වද කියලා.
මීදුම් ඉතින් ඔච්චර වෙලා ඕක ගණන් ගත්තෙ නෑනෙ.ඔන්න එතකොටයි මීදුම්ගෙ අනගිභවනීය ටියුබ් ලයිට් එක ආයෙත් පත්තු උනේ. ඇත්තටම බ්‍රේක් ඕක කිව්වොත් මොකක් වෙයිද ???
"මචං, අනිවාර්යෙන් අර වලිමුනියා තමා උඹව බයිට් කරලා තියෙන්නේ. ඌත් අපේ ඉස්කෝලෙ එකෙක්.බ්‍රේක් එහෙම ඌත් එක්කමයි ඉන්නේ. වලිමුනියා නම් බ්‍රේක් වගේ ලේසි නෑ මචං. ඌ හොයන්නෙ බලන්නෙ නෑ. ඇවිල්ලා නෙලළා ඉවර වෙලා තමා ප්‍රශ්ණ කරන්නේ.බැරි වෙලාවත් ඕක බ්‍රේක් අර වසවර්තියගෙ කනේ තිව්වොත් ඉතින් සබ්බ පාපස්ස අකරණං තමා. උනුත් වලි හොය හොයානෙ බන් ඉන්නේ. මේ වගේ සීනි බෝල කේස් උනත් උන්ට මහ ලොකූ දේවල්."
අනේ අසරණ මීදුම්. උදේ ගමේ විදිහට නොකාපු කෑම හවස මීදුම්ගෙ පුරේ තරු 'හතේ' හෝටලේකින් කන්න වෙයි වගේ.
මේ පන්තිය මග ඇරලා ගෙදර යන්නත් බෑ. ආයෙත් එන්න වෙනවනේ. පන්ති ආවෙ නැතත්  ඉස්කෝලෙ එන්නෙපැයි. සාන්ද්‍ර කියපු හැටියට හොයාගෙන ඇවිත් නෙළලා යන කෙනෙක් තමා වලිමුනි කියන්නේ. අනේ ඉතින් කොහොම කොහොම හරි මියෙම්වා ‍රැකෙම්වා කියලා මීදුම් විද්‍යාව පන්තියට ගියාලු. වෙන මොනවා කරන්නද. තනියම ඉන්න මීදුම් කොහෙද ටවුන් එකේ හොඳ පොරවල් අඳුන්නනේ.නැත්තං නම්බු තියාගෙන ශේප් වෙන්නවත් තිබුණා.
පන්තියට ගිය මීදුම් ඒක පටන් ගන්නකං හොඳ ලමයා වගේ පහුගිය සතියේ විද්‍යාව නෝට් එක බැලුවා. ඇයි ඉතින් එලියේ ඉඳලා 'කන්න' උනොත් එහෙම. දවල්ට සාන්ද්‍රත් එක්ක මගදිම කඩේකිං මාලු පාන් කාපු නිසා බඩගිනිත් නෑනේ. ඔන්න ඔහේ ඉන්ටවල් එකටම අර තරු 'හතේ ' හෝටලෙන් කනවා කියලා හිත හදාගෙන මීදුම් සැදැහැවත්ව පාඩම් වැඩ ටික කලාලු.
ඔය අතරෙ සාන්ද්‍රත් ආගිය අතක් නෑලු.මිනිහා හිටපු ගමන් වාෂ්ප වෙලා. මීදුම් එක්ක හිටියොත් කන්න වෙන නිසා වෙන්නැති කියලා මීදුම්ත් හිත හදා ගත්තා.
"මම නිසා අහල පහල උන් හවසට වෙනිවැල්ගැට තම්බ තම්බ බොන්න ඕනියෑ." මීදුම් තනියම හිතුවලු.
ඔන්න ඉතින් පන්තියත් පටන් අරන් ඉන්ටවල් එකත් එලඹුනාලු. ඉන්ටවල් එකෙත් ඉතින් ඒක අස්සෙම ඉන්න බෑනේ.මොකද පන්තියෙ ඉතුරු උනේ ගැහැණු ලමයි විතරයි.
ඉතිපිසෝ ගාථාව කිය කියා එලියට ආපු මීදුම්  එක පාරටම දැක්කේ බ්‍රේක් එක්ක ඉන්න අර 'හයි ෆයි' පොර.
නොදැක්කා වගේ යන්න හැදුවත්
"සූ... සූ... මීදුම් ... මෙහෙ මෙහෙ... මෙහෙ එනවා"
අනේ අනිච්චං දුක්කං සංසාරෙක හැටි කියලා හිතලා මීදුම්ත් ඒ පැත්තට ගියාලු. ගියාමත් නෙවෙයි ඉතින්,යන්න උනාලු. නැත්තං තරු 'හත' , තරු 'දාහතරක්' උනොත් කොහොම කාලා ඉවර කරන්නද අප්පා.
"මොකද්ද මචං මේ, එදා මම ෆන් එකටනේ බන් පොඩි බයිට් පාරක් දුන්නේ. උඹ ඒක සීරියස් ගත්තද බන්. අය්යෝ උඹ නම්....!"
මීදුම් එයාගෙ කන් දෙකත් පිහ දාල ඇහුන්කන් දුන්නලු.ඒත් ඒකම තමා ඇහෙන්නේ.
අඩේ මේ වලි මුනියා ශේප් වෙලානෙ. ඔන්න එතකොට පැත්තක ඉඳන් සාන්ද්‍ර ආවලු එතනට. බලාගෙන යද්දි මේ සාන්ද්‍රගෙ කට්ටිය. අප්පේ ඇති යන්තං.
මීදුම්ට හිතුනලු සාන්ද්‍රව අල්ලන් උම්මා දීගෙන දීගෙන යන්න. ඒත් බෑනේ. ඒක සදාචාරයට පටහැනියිනේ.
කොහොමහරි හවස පන්ති ඇරිලා යන ගමන් මීදුම්ගෙ ගානෙ සාන්ද්‍රයි මීදුම්නුයි ඇත්තම හෝටලෙකින් හොඳට කාලා ගෙදර ගියාලු.

ඔන්න එදා ඉඳන් අද වෙනකනුත් වලිමුනි එහෙම මීදුම්ගෙ හොඳ යාළුවෝ.

Friday

හීන් සැරය 2 _ ශේප් වීම


ඔන්න එදා පන්ති ඉවර වෙලා ගෙදර ගිහිනුත් මීදුම්ට අවුල්ලු. ඇයි ඉතින් කවදා කාපු රෝස් පාන් ද හා හා පුරා කියලා ගිය මෙගා class එකේදි කෑවේ. ඒ ඔක්කොමත් හරි, අර බ්‍රේක් කාරයගෙ චාටර් හිනාව තමා ඉවසන්න බැරි.
ඔන්න කොහොම කොහොම හරි ඊලඟ සෙනසුරාදා දවසත් ආවලු.උදේම මීදුම් පන්තියට යද්දි බ්‍රේකුත්ඉන්නවලු උදෙන් ම ඇවිත්. මොකද උදේ ගණන් පන්තිය තිබුනේ බ්‍රේක් ඉන්න පලාතේ හෝල් එකක.
තනියම මුල්ලකට වෙලා ඉන්න බ්‍රේක් ගාවට අඩියට දෙකට ගිය මීදුම් බ්‍රේක්ට සද්දයක් දැම්මලු. සද්දයක් කිව්වට ඉතින් සද්දයක්මත් නෙවෙයි. ටිකක් සැරෙන් ඇහුවලු ගිය සතියේ උනු සිද්දිය ගැන. ඒ කිව්වෙ ඉතින් මේ බෝ පැලේ වගේ ඉන්න අසරණ අහිංසක සත්ගුණවත් මීදුම් මහතාව 'බයිට්' එකට ගැනීමේ සිද්දිය සම්බන්දව.
අනේ ඉතින් මේ 'චණ්ඩියට' බය උනු ( ඒ වගේ පෙන්නපු ) බ්‍රේක් සද්ද නැතිව හිටියලු. මේ වෙනකොට ඉතින් පන්තියට ලමයි එන්න පටන් අරන්.
කවදාවත් නැතිව නහුතෙට තද වෙලා ඉන්න 'අහිංසක' මීදුම් දිහා කට්ටිය බල බලා යනවලු. මේකෙන් තවත් ෆෝම් උනු මීදුම් දැන් සිද්දියෙන් පිට ගිහින් වෙන වෙන ඒව කියලත් අර බ්‍රේක්ට බනිනෝලු. ඇරත් තැලෙන යකඩ උඩ පැන පැන තලනවලුනේ.
ඔන්න ඉතින් ටික වෙලාවකින් බ්‍රේක්ගෙ රතු කට්ට පැන්නලු.
වෙලාව කියන්නේ, බ්‍රේක්ට තද වෙනකොට මීදුම්ගෙ රෙඩ් ලයිට් ඕෆ්ලු. යාන්තන් කූල් ඩවුන්.
දැන් ඉතින් බ්‍රේක් වලියකටමයි  ලෑස්තිය. මීදුම්ට මුලින් කෙන්ති ගිහින් තිබුනට දැන් ශේප්නේ. ඒක නිසා ඕක දිගින් දිගටම ගෙනියන්න මීදුම්ට කිසි උවමනාවක් තිබුනේ නෑ. ඇරත් කවුද අප්පා දුම්කොල නැට්ටට රන්ඩු කරන්නේ (වලස් මාමයි, වලස් නැන්දයි ඇරෙන්න)
ඒ උනාට බ්‍රේක් දැන් දැන් දාන කතාවෙන් මීදුම්ට මීටර් උනාලු එන පොට හොඳ නෑ කියලා. ඔන්න එතකොටලු අපේ මිදුම්ගෙ ටියුබ් ලයිට් එකත් පත්තු උනේ.
' මේක බ්‍රේක් කාරයගෙ ගමනේ.......! '
දැන් මීදුම් ශේප් එකටමයි කතාව. බ්‍රේකුත් දන්නවා මීදුම් ඉස්සෙල්ලා බොරුවට බෙරිහන් දුන්නට මීදුම් 'හොඳ ලමයා' කියලා. ඉතින් බ්‍රේකුත් පස්සෙ ශේප් උනා. හැබැයි හවස පන්තියෙ අර මීදුම්ව බයිට් කරපු හයි ෆයි පොරට මේ උන සිද්දිය කියනවා කියලත් කිව්වා. මීදුම් ඉතින් ඕක එච්චර ගණන් ගත්තෙ නෑ.
කොහොම කොහොම හරි මරු වැඩේ කියන්නෙ උදේ මීදුම් බ්‍රේක්ට සද්දෙ දානවා දැකපු මේ ගණන් පන්ති එන වෙන සෙට් එකක්, ඒ පන්තියටම එන බ්‍රේක්ගෙ යාළුවෙක්ට ( ඒ කියන්නෙ ගමේම ඉන්න එකෙක්ට) සද්දයක් දාල.
මීදුම් පස්සෙ තමා දැන ගත්තෙ ඒක ගොඩාක් පරණ කෝන්තරයක්ලු. මීදුම් වගේ එකෙකුත් සද්දෙ දාන එකේ උන්ගෙත් ගට්ස් නැගලා තමා සද්දෙ දාලා තියෙන්නෙ. පව් අසරණයෝ. උන්ට කොහොම හරි දැනගන්න බැරි උනා මීදුම් බ්‍රේක් එක්ක ශේප් උනා කියන එක.
මං අසරණයෝ කිව්වේ එදා ගණන් පන්ති ඇරිලා උන් දවල්ට බඩ කට පිරෙන්න කාපු හැටි දැකලා.
දෙවියනේ එහෙමත් කෑමක්. ජීවිත කාලෙට ම හරියන්න කෑවා. කොහොම කොහොම හරි එයාලගෙන් එක්කෙනෙක් අන්තිමට ඉස්පිරිතාලෙත් නැවත්තුවා.
ඔන්න ඕකයි කියන්නෙ 'ගමට ගිහින් ඒකෙම උන්ට සද්දෙ දානෝ නෙවී' කියලා .පුරාණ පඬිවරු ඕවා කිව්වෙ කට කහනවටයෑ.
මේ ඔක්කොම දිහා පැත්තකට වෙලා උපේක්ෂා සහගත සිතින් බලා හිටපු මීදුම් එයාගෙ ටියුබ් ලයිට් එක පරක්කු වෙලා හරි පත්තු වීම ගැන 'හිතට' වැඳ වැඳලු හිටියේ. නැත්තං එදා දවල්ට මීදුම්ටත් අපේ කම දන්න ගමේ හොඳ හෝටලේකින් බඩ කට පිරෙන්න කන්න වෙනවා.
එදා මීදුම්ගෙ වාසනාවන්ත දවසක්. මොකද කියලා ඊලඟ කොටසින් බලමු නේද යාලුවනේ.

...මතු සම්බන්ධයි...

Monday

හීන් සැරය 1 _ අලුත් පන්තිය


ඔන්න මීදුම් පොඩි පෙළ කරන කාලෙ උනු සිද්දියක් තමා මේ.

මහ පෙළට ජීව විද්‍යාව කලාට මොකෝ පොඩි පෙළ කරන කාලෙ නම් මීදුම් අකමැතිම විෂය තමා විද්‍යාව. ඒ වගේම විභාගෙට ලැබෙන ලකුණුත් සැලකිය යුතු විදිහට අඩු උන නිසා මීදුම්, විද්‍යාව ටියුෂන් පන්තියකට යන්න හිතාගත්තලු.
පුරයේ තියෙන පන්ති ඔක්කොම විශ්ලේෂණය කරලා, වැඩියෙන් ම ලමයි හිටපු පන්තිය ‍තෝරගෙන දැන් ඉතින් මේකට යන්නයි මීදුම්ගෙ ලෑස්තිය. මීදුම්ගෙ පුරයේ පොඩි පෙළට පන්ති පන්ති පැවැත්වුනේ සෙනසුරාදා. එදා උදේ මීදුම්ට ගණන් පන්ති. එදාම හවස තමා මීදුම් යන්න ප්ලෑන් කරගෙන ඉන්න විද්‍යාව පන්තියත් තිබුනේ.
ඔන්න ඉතින් හා හා පුරා කියලා අපේ මීදුම් විද්‍යාව පන්තියට ගියාලු. පලවෙනි දවසනේ ඉතින්. පන්තිය පටන් ගන්න පැය බාගෙකට විතර කලින් කොහොමහරි පන්තියේ මැද හරියේ ඩෙස්ක් එකක පොත් ටික තියලා එලියට ආවලු.
මීදුම් ජීවිතේ ඉස්සෙල්ලම එදා තමා මෙගා class එකකට ගියේ. අප්පේ එන ළමයි කන්දරාව...!
එයාගෙ පුරේ එච්චර පොඩිපෙළ ළමයි ඉන්නවා කියලා මීදුම් හීනෙකින්වත් හිතලා තිබුනේ නෑ. කොහොම කොහොම හරි දැන් ඉතින් ඉදගන්න තැනකුත් හරිනේ. ඉතින් පොඩ්ඩක් වට පිට බලන්න මීදුම් ටිකක් ඇවිද්දා.
මෙහෙම ඇවිදිද්දී මීදුම් දැක්කා ඈතින් ඉන්න කොට ඩයල් එකක්. පොඩ්ඩක් දැකලත් පුරුදුයි. කිට්‍ටු කරලා බැලින්නම් අඩේ මේ අපේ ' බ්‍රේක් සුමනෙනේ '.
මිනිහගේ නම හැදුනෙ පිය පුතු උරුමයෙන්. ඇත්තම කිව්වොත් මිනිහගෙ තාත්තා තමයි සුමනේ. ඩිපෝවෙ බස් එකක තමයි තාත්තා  වැඩ කලේ. එයා ඩ්‍රයිව් කරනකොට බස් එක කන්දක් නගිනකොට පවා බ්‍රේක් ගහන නිසා තමා නිකං ' සුමනේ ' බ්‍රේක් සුමනේ උනේ.
ඉතින් මේ බ්‍රේක් සුමනේ උදේ මීදුම් යන ගණන් පන්ති එන, පැත්තකට වෙලා ඉන්න වැඩි සද්දයක් නැති එකෙක්. ඇත්තම කිව්වොත් මීදුම් ගණන් පන්තියෙදි බ්‍රේක්ව ගණන් ගත්තෙවත් නෑ. මිනිහා නිකං ගෙඳ පනුවා වගේ ඉන්න ලේඩි ඩයල් එකක්නේ. ඒකයි ඒ.
මීදුම්ගෙ යාලුවො සෙට් එක යන්නෙ වෙන පන්තියකට නිසා කතා කරන්නවත් එකෙක් නැති එකේ මිදුම්ත් හෙමීට හෙමීට බ්‍රේක් පැත්තට කිට්‍ටු කලාලු. බ්‍රේක්  ඈත තියාම මීදුම්ව දැකලා මිනිහා ලඟ හිටපු හොඳට ඇඟ පත තියෙන එකෙක්ට ඇගිල්ලෙන් ඇනලා මීදුම්ව පෙන්නුවලු. මීදුම්ත් මේක එච්චර ගනන් ගන්නෙ නැතිව බ්‍රේක් පැත්තට ගියාලු.
ඔන්න ඊට පස්සේ අර හයි ෆයි පොර මීදුම්ට " සූ  සූ " පාරක් දාල කතා කලා. බ්‍රේකුත් ඉන්නවනේ. අවුලක් නෑ කියලා හිතලා මීදුම්ත් අඩියට දෙකට එතනට ගියා.
අඩේ ඊට පස්සෙනේ ෂෝ එක.
වටේ පිටේ හිටපු මෙගා සයිස් ඇඟ පත තියෙන දෙන්නෙක් තුන්දෙනෙක් වට වෙලා මීදුම්ගෙ නම අහනවලූ. ඉස්කෝලෙ අහනවලූ. ෂ්ර්ට් එක ගත්තෙ කොහෙන්ද අහනවලූ  පර්ස් එක අරන් බලනවලූ. කොටින්ම කියනවනම් මුන් ටික මීදුම්ව බයිට් කරනවලු. මුලින් තේරුනේ නැතත් ටිකක් වෙලා යද්දි මීදුම්ගෙ ටියුබ් ලයිට් එක පත්තු වෙලා මීටර් උනාලු ලයින් එක. අඩේ මේ බලාපල්ලකො, අරහෙ ලේඩි ලීලාවෙන් ඉන්න බ්‍රේක් මෙහෙදි පොර වෙලානෙ. මූත් මේවා දිහා බලාගෙන හිනා වෙනවලු.
ඔන්න ඉතින් හොඳ මීදුම් බොඳ මීදුම් වීගෙන එනවලු දැන්. රතු කට්ට පැනීමට ආසන්න වීගෙන එද්දි අම්මෝ ඇති යන්තන් පන්තිය පටන් ගන්න කාඩ් මාක් කරන්න කතා කලාලු.
කොහොමහරි එදා පන්තියේ හිටියට මීදුම් හිටියේ බ්‍රේක්ට මොකක් හරි මරිසියක් අදින්න හිත හිතා...

...මතු සම්බන්ධයි...

Friday

සිතින් විතරක්...!

ඔන්න  අද නම් මම කියන්න යන්නේ මීදුම්ට උනු එක අත්දැකීමක්.
ඔන්න මීදුම් පොඩි පෙළ එහෙම පාස් වෙලා මහ පෙළට කලේ ජීව විද්‍යාවලු. ඉතින් ඔය කාලෙ ගොඩාක් සුන්දර , ඒ වගේ ම දුක හිතෙන සිද්දිත් ගොඩාරියක් උනාලු.මේකත් ඒ වගේ උනු එක සිද්දියක්.
මීදුම් හිටිය පුරයේ මහ පෙළට ටියුෂන් තිබුනේ ගොඩාක් අඩුවෙන්. ඉතින් ලඟ තිබුණු මාණික්‍ය නගරෙට යන්න ඕන ටියුෂන් වලට. ලඟ කිව්වට ඉතින් පැය දෙකක් විතර බස් එකේ කොටන්න ඕන එහාට යන්න.
මීදුම්ගෙ බැච් එකේ පෙර පිනක්ද මන්දා ඒ අවුරුද්දෙ ම මාණික්‍ය නගරේ හිටපු නම් දරාපු සර්ලා සෙට් එකක් එයාගෙ පුංචි පුරේට ආවා. අපරාදෙ කියන්න බෑ ඒ සර්ල නිසා මීදුම්ගෙ පුරේ ගොඩක් අය සරසවි වරම් ලැබුවලු. මීදුම්ත් ඒ සෙට් එකේ ඉන්නවලු.
මේ සර්ලට නිවාඩු කාලයක් පේන්න බෑ. අමතර ටියුෂන් පන්ති දැම්මා මහපෙළ එපා වෙන්න ම. හැබැයි ඉතින් කට්ටියම මැදහත් සිතින් හැම පන්තියකටම සහභාගි උනා. ඒ කාලෙ සර්ලගෙ අම්ම අප්පට හචින් එකක් දෙකක් යැව්වට මොකෝ මීදුම්ත් ඒ පන්ති වලට ගියා.
අවුල කියන්නේ මේ පන්ති දැම්මේ මාණික්‍ය නගරේ. ඕක මහ එපා වෙන වැඩක්. සතියෙන් වැඩි දවස් ගානක් , බස් වල පැය ගානක් රස්තියාදු වෙවී එහාට යනේක තරම් එපා වෙන වැඩක් මීදුම්ට වෙන තිබුනේ නෑ.
ඔන්න ඕවා අස්සේ තමා එක දවසක් මීදුම්ගෙ රබර් ඇහැට මීටර් උනේ එයා යන රසායන විද්‍යා  පන්ති එන ලස්සන ගැහැණු ළමයෙක්. මෙයාගෙ තිබුනෙ අමුතුම ලස්සනක්ලු. හැම පිරිමි ළමයෙක්ට ම මීටර් වෙන්නෙ නැති ලස්සනක්ලු මෙයාට තිබුනේ. අපේ මීදුම්ටත් ඉතින් ගොඩාක් සතු‍ටුයිලු. හෙන ගේමක් දීලා එයාගෙ නමත් මීදුම් හොයාගත්තලු. එයාට තිබුනේ සංගීත භාණ්ඩෙක නමක්. අපි කියමුකෝ වීණා කියලා.
මෙච්චරකල් නාහෙන් අඬ අඬා පන්ති ආපු එකේ දැන් හේතුවක් තියෙනවනේ පන්ති එන්න. මේක පොඩී කණ්ඩායම් පන්තියක් නිසා වීණා දිහා බලා ඉන්න එක එහෙම එච්චර අමාරු උනේ නෑලු.පොඩි කිව්වට ඉතින් පන්තියෙ ළමයි පනහක් විතර හිටියා.
මීදුම් ඉතින් සර් ගාණක් එහෙම දුන්නම පට ගාලා හදලා මෙයා දිහා බලන් ඉන්නවලු. ඔන්න ඉතින් මෙහෙම ටික දවසක් යද්දි  වීණාටත් මීටර් උනාලු මීදුම්කාරයගෙ රබර් ඇහැ. කෙල්ලත් ඒකට මොකද කියන්න එයාගෙ වගකීම් යුතුකම් හොඳට ඉ‍ටු කලාලු. තියෙනවා කියන හැට හතරෙන් එකක් දෙකක් දාද්දි මීදුම්ත් හිතුවේ වැඩේ ගොඩ තමයි කියලා.
කොණ්ඩෙ හදනවා, හොරෙන් බලනවා, හරහට බලනවා, කෙලින් බලනවා, ඇස් කොනෙන් බලනවා, වැඩ ගොඩායිලු ඉතින්.
ඔන්න ඔහොම සිතින් විතරක් පෙම් කර කර කාලෙ ගත උණාලු.  අපේ මීදුම් හිතින් එක එක ඒවා හිතුවට වීණත් එක්ක ඕවා කියන්න තරම් හයියක් තිබුනේ නෑ. හැඟීමක් දෙකක් ආවට මීදුම් තාම පොඩි එකාලු. කිසිම අත්දැකීමකුත් නෑනේ.හිතින් විතරයි ඉතින් ඔක්කොම.
ඇරත් මීදුම්ට කොහොමහරි විභාගෙ පාස් වෙන්නත් ලොකූ උවමනාවක් තිබුනා. පන්තියේ ගැහැණු ළමයෙක් දිහා බලන් ඉන්නවා වගේ නෙවෙයිනේ ඉතින් 'දාගත්තම'.
ඔක්කොම හොයන්න බලන්න ඕන. යන යන තැන පස්සෙන් යන්න ඕන.වියදම් කරන්න ඕන.
ඕවා කරන්න තාම මීදුම් පොඩි වැඩියි කියලයි මීදුම් ඒ දවස්වල හිතන් හිටියේ.
කොහොම කොහොමහරි මහපෙළ විභාගෙත් ළං උනාලු. පන්ති වල ඉතින් අන්තිම දවසකුත් තියෙනවනේ. විභාගෙන් පස්සේ කට්ටිය හොයාගන්නවත් නැතිවෙන නිසා පන්තියේ සර් යොජනා කල පරිද්දෙන් විභාගෙට කලින් ම පාටියකුත් තිව්වා.ඔන්න ඕකෙදි තමා මීදුම්ට ලස්සන වැඩක් උනේ.
කට්ටිය කන බොන අතරෙදි ඉතින් ගුණ වර්ණනා, ශෝක ගායනා එහෙම තියෙනවනේ. ඕවා කෙරීගෙන යද්දී වීණත් නැගිටලා මීදුම්ටත් ඉඟියක් දාලා පන්තිය ඉස්සරහට ගියාලු.
පටන් ගත්තලු ගීතයක්.
"අහසට සොඳුරුද  සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රළ කෙතරම්
එතරම් මිහිරියි ඔබ මට නම්

හිත ලඟ පෙම්බරකම් සඟවා
යන එන මග ඉඟි බිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දු‍ටුවොත් වෙන අය වෙයි සතුරන් "

ගීතයේ ඔය පද ටිකෙන් පස්සෙ මීදුම්ට මොනවත් ඇහුනෙ නෑලු. ඇරත් වීණා ඔය ටිකත් කිව්වෙ අපේ අහිංසක මීදුම්ගෙ මුහුණ දිහා බලාගෙනලු.
ඒ විතරක් නම් මදෑ. වීණා ගීතය කියලා ඉවර වෙනවත් එක්ක ම පන්තියේ ගැහැණු ළමයින්ගෙ පැත්තෙන් මීදුම්ට පොඩි චිට් එකක් ආවලු
"මීදුම් , වීණා කියපු සින්දුව හරි ලස්සනයි නේද ??? " කියලා.