Wednesday

හීන් සැරය 3 _ ඇති යන්තන් ඔයිං ගියා.

යාළුවන්ට මතකනේ එදා උදේ පන්තියෙදි අපේ මීදුම් යාන්තං ඇග පත බේරගෙන ශේප් උන හැටි.
හැබැයි එදා හවස මීදුම්ට එයාගෙ අලුත් මෙගා class එකත් තිබුනනේ. උදේ ගණන් පන්ති ඉවර වෙලා සජීවී සටන් ජවනිකා නරඹපු මීදුම් ඔන්න ඊට පස්සෙ හවස විද්‍යාව පන්තියට පිටත් උනාලු.
හවස පන්තියට වෙනම ම බස් එකක මීදුම්ගෙ පුරේට යන්න ඕන.උදේ ගණන් පන්ති ඇවිත් හවස මීදුම් යන පන්තියටත් යන පරණ යාලුවෙකුත් සෙට් උනාලු මේ අතරෙදි. බස් එකේ යන ගමන් දැන් දෙන්නා බර කතාව. (මේ අලුත් යාලුවට අපි සාන්ද්‍ර කියමු. මොකද එයාගෙ ඇත්තම නමත් උනේ ඒ වගේ එකක්. මෙයා වෙන ඉස්කෝලෙක කෙනෙක්. බ්‍රේක් යන ඉස්කෝලෙ තමා සාන්ද්‍රත් ගියේ.)
"අද මරු ගේමක් නේද මචං ගියේ"
"ආයෙත් අහලා... ආයනම් මචං උං ඒ ගම පැත්ත දිහා බලන් බත් කන එකක්වත් නෑ... හි හි හී"
"තව ඩිංගෙන් මාත් කනවනේ ඔය වගේම කෑමක් "
ඔන්න ඉතින් ඊට පස්සෙ මීදුම් සියලු සබ්බ සකලමනාවම සාන්ද්‍ර ඉදිරියේ දිග ඇරියා.(මීදුම් කොහොමත් විවෘත කෙනෙක්. එයාගෙ ජීවිතේ රහස් නෑ .අනේ ඒ උනාට යාලුවන්ගෙ රහස් නම් කවදාවත් පිට කරන්නෙත් නෑලු )
ඔය අතරෙදි බ්‍රේක් කාරයා අර හයි ෆයි පොරට මීදුම් සද්දෙ දාපු සිද්දිය කියනවා කිව්ව එකත් මීදුම්ට කියවුනා.එතකොට සාන්ද්‍ර ඇහුවාලු ඇත්තටම බ්‍රේක් එහෙම කියනවා කිව්වද කියලා.
මීදුම් ඉතින් ඔච්චර වෙලා ඕක ගණන් ගත්තෙ නෑනෙ.ඔන්න එතකොටයි මීදුම්ගෙ අනගිභවනීය ටියුබ් ලයිට් එක ආයෙත් පත්තු උනේ. ඇත්තටම බ්‍රේක් ඕක කිව්වොත් මොකක් වෙයිද ???
"මචං, අනිවාර්යෙන් අර වලිමුනියා තමා උඹව බයිට් කරලා තියෙන්නේ. ඌත් අපේ ඉස්කෝලෙ එකෙක්.බ්‍රේක් එහෙම ඌත් එක්කමයි ඉන්නේ. වලිමුනියා නම් බ්‍රේක් වගේ ලේසි නෑ මචං. ඌ හොයන්නෙ බලන්නෙ නෑ. ඇවිල්ලා නෙලළා ඉවර වෙලා තමා ප්‍රශ්ණ කරන්නේ.බැරි වෙලාවත් ඕක බ්‍රේක් අර වසවර්තියගෙ කනේ තිව්වොත් ඉතින් සබ්බ පාපස්ස අකරණං තමා. උනුත් වලි හොය හොයානෙ බන් ඉන්නේ. මේ වගේ සීනි බෝල කේස් උනත් උන්ට මහ ලොකූ දේවල්."
අනේ අසරණ මීදුම්. උදේ ගමේ විදිහට නොකාපු කෑම හවස මීදුම්ගෙ පුරේ තරු 'හතේ' හෝටලේකින් කන්න වෙයි වගේ.
මේ පන්තිය මග ඇරලා ගෙදර යන්නත් බෑ. ආයෙත් එන්න වෙනවනේ. පන්ති ආවෙ නැතත්  ඉස්කෝලෙ එන්නෙපැයි. සාන්ද්‍ර කියපු හැටියට හොයාගෙන ඇවිත් නෙළලා යන කෙනෙක් තමා වලිමුනි කියන්නේ. අනේ ඉතින් කොහොම කොහොම හරි මියෙම්වා ‍රැකෙම්වා කියලා මීදුම් විද්‍යාව පන්තියට ගියාලු. වෙන මොනවා කරන්නද. තනියම ඉන්න මීදුම් කොහෙද ටවුන් එකේ හොඳ පොරවල් අඳුන්නනේ.නැත්තං නම්බු තියාගෙන ශේප් වෙන්නවත් තිබුණා.
පන්තියට ගිය මීදුම් ඒක පටන් ගන්නකං හොඳ ලමයා වගේ පහුගිය සතියේ විද්‍යාව නෝට් එක බැලුවා. ඇයි ඉතින් එලියේ ඉඳලා 'කන්න' උනොත් එහෙම. දවල්ට සාන්ද්‍රත් එක්ක මගදිම කඩේකිං මාලු පාන් කාපු නිසා බඩගිනිත් නෑනේ. ඔන්න ඔහේ ඉන්ටවල් එකටම අර තරු 'හතේ ' හෝටලෙන් කනවා කියලා හිත හදාගෙන මීදුම් සැදැහැවත්ව පාඩම් වැඩ ටික කලාලු.
ඔය අතරෙ සාන්ද්‍රත් ආගිය අතක් නෑලු.මිනිහා හිටපු ගමන් වාෂ්ප වෙලා. මීදුම් එක්ක හිටියොත් කන්න වෙන නිසා වෙන්නැති කියලා මීදුම්ත් හිත හදා ගත්තා.
"මම නිසා අහල පහල උන් හවසට වෙනිවැල්ගැට තම්බ තම්බ බොන්න ඕනියෑ." මීදුම් තනියම හිතුවලු.
ඔන්න ඉතින් පන්තියත් පටන් අරන් ඉන්ටවල් එකත් එලඹුනාලු. ඉන්ටවල් එකෙත් ඉතින් ඒක අස්සෙම ඉන්න බෑනේ.මොකද පන්තියෙ ඉතුරු උනේ ගැහැණු ලමයි විතරයි.
ඉතිපිසෝ ගාථාව කිය කියා එලියට ආපු මීදුම්  එක පාරටම දැක්කේ බ්‍රේක් එක්ක ඉන්න අර 'හයි ෆයි' පොර.
නොදැක්කා වගේ යන්න හැදුවත්
"සූ... සූ... මීදුම් ... මෙහෙ මෙහෙ... මෙහෙ එනවා"
අනේ අනිච්චං දුක්කං සංසාරෙක හැටි කියලා හිතලා මීදුම්ත් ඒ පැත්තට ගියාලු. ගියාමත් නෙවෙයි ඉතින්,යන්න උනාලු. නැත්තං තරු 'හත' , තරු 'දාහතරක්' උනොත් කොහොම කාලා ඉවර කරන්නද අප්පා.
"මොකද්ද මචං මේ, එදා මම ෆන් එකටනේ බන් පොඩි බයිට් පාරක් දුන්නේ. උඹ ඒක සීරියස් ගත්තද බන්. අය්යෝ උඹ නම්....!"
මීදුම් එයාගෙ කන් දෙකත් පිහ දාල ඇහුන්කන් දුන්නලු.ඒත් ඒකම තමා ඇහෙන්නේ.
අඩේ මේ වලි මුනියා ශේප් වෙලානෙ. ඔන්න එතකොට පැත්තක ඉඳන් සාන්ද්‍ර ආවලු එතනට. බලාගෙන යද්දි මේ සාන්ද්‍රගෙ කට්ටිය. අප්පේ ඇති යන්තං.
මීදුම්ට හිතුනලු සාන්ද්‍රව අල්ලන් උම්මා දීගෙන දීගෙන යන්න. ඒත් බෑනේ. ඒක සදාචාරයට පටහැනියිනේ.
කොහොමහරි හවස පන්ති ඇරිලා යන ගමන් මීදුම්ගෙ ගානෙ සාන්ද්‍රයි මීදුම්නුයි ඇත්තම හෝටලෙකින් හොඳට කාලා ගෙදර ගියාලු.

ඔන්න එදා ඉඳන් අද වෙනකනුත් වලිමුනි එහෙම මීදුම්ගෙ හොඳ යාළුවෝ.

2 comments:

Janaranga Dewasurendra said...

අද තමයි මුල්ම වතාවට ඔබේ බ්ලොග් අඩවියට ගොඩවුනේ..බොහොම සුන්දරයි..සරලයි..කමෙන්ට්ස් අඩුවුනාට කණගාටුවෙන්නවත් අධෛර්යමත් වෙන්න එපා..හොදින් ලියාගෙන යන්න දිගටම..ඒ වගේම බ්ලොග්ස් followers widget එකත් අඩවියට එකතු කරන්න..ඒක කියවන්නන් වැඩි කරන්න පහසුවක් වේවි..සුබ ගමන් ඔබට

මීදුම said...

බොහෝම ස්තූතියි යාළුවේ ධෛර්යමත් කිරීමට.
මම ඒ widget එකත් එකතු කරන්නම් මගේ බ්ලොගයට.
මේ දවස්වල මීදුම් එයාගෙ ඉගෙනුම් කටයුතු වල පොඩ්ඩක් හිරවෙලා. ඒකයි සිත්තම් අඳින්න වෙලාව ටිකක් අඩු. තව සිත්තම් අඳින්න මීදුම් ඉක්මනටම එනවා!!!