Showing posts with label ජීවිතය මම දකින හැටි.... Show all posts
Showing posts with label ජීවිතය මම දකින හැටි.... Show all posts

Thursday

ජීවිතේ හරි ලස්සනයි...

ඇත්තටම ජීවිතේ ලස්සනද???
අපි කොහොමද ජීවිතේ ලස්සන කරගන්නේ???


ඔව් යාළුවනේ, ජීවිතේ ගොඩාක් ලස්සනයි. කියාගන්න බැරිතරම් ලස්සනයි. අපිට ඒ ලස්සන 'පෙනිලා'  තියෙනවා. ඒත් ගොඩාක් අය ඒ ලස්සන 'බලලා' නෑ.
මොකද, අපි හැමෝම කෙනින් කෙනාට වෙනස්. වෙනස් වෙනස් මිනිස්සු ලෝකය දකින්නෙ වෙනස් වෙනස් විදිහට.ඒකයි ඒ.
මට දැනෙන විදිහට මගේ ජීවිතේ මට දැනුනු දේවල් කිහිපයක් කියන්නම්.


වැස්සක් වහිනකොට ගොඩක් දෙනා කියන්නෙ "ආපෝ ! අදත් වැස්ස...දවසම ඉවරයි..."
ඒත් ඔයාලට ඇහිලා තියෙනවද ඔයාල අතරෙ ම ඉන්න සමහර අය " ෂා නියමයි, අදත් වැස්ස නිසා දවසම cool " කියනවා.
මට දැනෙන්නෙත් එහෙමයි.
වලාකුළු වලින් අහස වසාගත්තම තියෙන අත්භූතබව, පරිසරේ කෙමෙන් කෙමෙන් වෙනස් වෙන හැටි, වැස්ස වහිනකොට වැහිබින්දු බේරෙන ලස්සන, හිරිපොද ඇඟට වැටෙද්දි දැනෙන සීතල, මෙන්න මේ හැම දෙයක් ම විඳින්න යාළුවනේ.
ඔන්න ඒ වගේමයි ඉතින් අව්ව තියෙනකොටත්.
හිරු ‍රැස් පොළොව සිපගන්න හැටි, ගස් වැල් වල සෙවනැලි මහපොළොව මත චමත්කාරජනක දර්ශණ මවන හැටි, කොච්චර අපූරුද...?
සොබාදහමේ චමත්කාරයට ආදරේ කරන්න යාළුවනේ. හැම මොහොතක ම සොබාදහමේ ලස්සනත් එක්ක ජීවත් වෙන්න උත්සහ කරන්න.


මගේ යාළුවෝ විඳලා තියෙනවද හැන්දෑවට ඉර බැහැගෙන යනකොට අහසෙ තියෙන ලස්සන ?
වලාකුළු වලට මුවා වෙලා ඉර අපිට සමුදෙද්දි කෙමෙන් කෙමෙන් වැඩි වෙන සීතල, ඈත අහසේ කුරුල්ලන් යන හැටි, පරිසරේ හෙමීට අඳුරු වෙන හැටි, අහස නිල් පාටින් කහපාට වෙලා පස්සෙ රතූ පාටට හැරෙන හැටි....!
එතනින් පස්සෙ උදාවෙන රාත්‍රිය. ම්ම්ම්ම්....! කියාගන්න බැරි තරම් අපූරුයි.
තරු කැට එකින් එක අහසේ මතුවෙන හැටි.ඒවා එකින් එක පරදමින් දිදුලන හැටි.
පොඩ්ඩක් උත්සහ කරලා බලන්න යාළුවනේ. මුලු ලෝකෙම ඔයාගෙ වගේ දැනේවි.


තමන්ගෙ හදවතේ ගැඹුරු ම තැනට තමන් ළං උණාම මේ ලෝකෙ තියෙන හැම දේකම ලස්සන අපිට දැනෙනවා.
මගේ මේ අදහස් සමහර යාළුවන්ට අමුතු දේවල් වෙන්නැති. ඒත් ලස්සන ඇසකින් ලෝකෙ දකින දාට දැනේවි හැමදේකම ලස්සන.

Monday

සැහැල්ලුව...

ප්‍රශ්ණෙකින් ඔලුව පිරිලා තියෙද්දි කිසිම විසඳුමක් එන්නේ නෑ.
ඒ වගේම කිසිම සැනසීමකුත් නෑ.
ඒ වගේම අපිට ප්‍රශ්ණයක් ආපු වෙලාවට අපි තනිවෙන්න හොඳත් නෑ.
තමන්ගේ මනස සැහැල්ලු කරගන්න ඕන.
ඉතින් කොහොමද මනස සැහැල්ලු කරගන්නේ ?


ඒ වගේ වෙලාවට කරන්න ඕන තමන්ගෙ ලගම හිතවතෙක්, යාළුවෙක් එක්ක තමන්ගෙ හිතේ තියෙන හැමදේම කියන එක.
තමන්ව තේරුම් ගන්න පුලුවන්, විශ්වාසය තියන්න පුලුවන් කෙනෙකුට තමයි ඉතින් හැමදේම කියන්න ඕන.
සාකච්ඡා කරන්න ඕන.
ඔයාලට හිතෙන්න පුලුවනි ' ඉතින් එහෙම කළා කියලා විසඳුමක් හම්බෙන්නේ නෑනේ ' කියලා. ඇත්ත . සමහරවිට විසඳුමක් නොලැබෙන්න පුලුවනි. ඒත් හිත සැහැල්ලු වෙනවා. පුදුමාකාර විදිහට හිත සැහැල්ලු වෙනවා. ඉතින් එතනින් එහාට, තමන්ගේ කලබල හිතෙන් නොලැබුණු විසඳුම් ලබෙන්නත් පුලුවනි.


හිත සැහැල්ලු කරගන්න තවත් විදිහක් තමයි තමන්ගෙ දිනපොතේ වගේ හිස් පි‍ටු කිහිපයක, හිතට එන අදහස් සියල්ල ඒ විදිහට ම ඔහේ ලියාගෙන යන එක. මේක නිදහසේ පෑන හසුරුවාගෙන , ගලාගෙන එන සිතුවිලි එහෙම ම ලියන කලාවක්.
මෙහෙම පි‍ටු ගානක් පිරෙනකං ලියවෙන්න පුලුවනි ඒත් දිගටම ලියාගෙන යනකොට එක වෙලාවක් එනවා ලියන්න කිසිම දෙයක් නැති. අන්න එතනින් එහාට තමන්ගෙ හිතේ තියෙන සෑහෙන්න ලොකු බරක් අයින් උනා වගේ දැනේවි.ලොකූ සැහැල්ලුවක් දැනේවි.
මම කිව්ව කරුණු මහා ලොකූ දේවල් නොවෙන්න පුලුවනි.නමුත් මේවා මං වගේම මගේ ලඟම යාළුවොත් අත්විඳලා තියෙනවා. ඒ වගේ සැහැල්ලු වෙලා තියෙනවා.


ඉඩෝරෙට ඉරිතැලිලා ගිය මහපොළොවට පිණි වැස්සත් මහ මෙරක් වගේ.

Sunday

ජීවිතේ හැමදාම අළුත්...

යළුවන්ට හිතිල තියෙනවද ජිවිතේ හරියට ගලාගෙන යන ගඟක් වගේ කියලා...!
චුට්ටක් හිතලා බලන්න, ගඟක පටන් ගැන්මේ ඉඳන් අවසානය, ඒ කියන්නේ මුහුඳත් එක්ක එකතුවෙනකං ඒකාකාරයිද ???
නෑ නේද ?
වෙලාවකට දිය දහරා නිසසලව ගලාගෙන බහිනවා. තවත් තැනක වේගෙන් සැඩ පහරක් විදිහට ගලාගෙන බහිනවා. පල්ලම් , තැනිතලා වගේම  අධික බෑවුම් හරහාත් ගලාගෙන බහිනවා. මෙන්න මේ වගේ බෑවුම් හරහා ගලා බහිනකොට තමයි අපි කවුරුත් ආස දිය ඇලි හැදෙන්නෙත්.
ඔයාල අහලා ඇති ගංගාවන් පිලිබඳව රචනා වුණු රසවත් නිර්මාණ.
උදාහරණයක් විදිහට අපිට පාසල් සිංහල පෙළ පොතක තිබුණු එච්.එම්.කුඩලිගම කවියාගේ 'ගංගාවේ ගීතය' මතකද ?  මට මතක හැටියට 8 ශ්‍රේණිය පෙළ පොතේ තමයි තිබුනේ.
"සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසුනොබසිමි නොනවතිමි......"  ම් ම් ... තාමත් ටිකක් ටිකක් මතකයි මට
ආ දැන් චුට්ටක් හිතන්න අතීතයේ ඉදන් සාහිත්‍ය රසාස්වාදීන්, කවියන්, ගීත රචකයන් ගංගාවන් වර්ණනා කරන්නේ ඇයි ..?
එක ගානට මිම්මට බෑවුම තියෙන කොන්ක්‍රීට් වලින් හදපු වාරිමාර්ග ඇළක් මෙහෙම වර්ණනා කරයිද ...?
නෑ නේද ?  ඇයි ඒ  ?
ගංගාව සුන්දරයි, ලස්සනයි.
ඒකෙ ලස්සන තියෙන්නෙ ඒකාකාරීබව නැති කමේ නේද ? චුට්ටක් හිතන්න යාලුවනේ....!
ආ... දැන් බලන්න ජීවිතය දිහා. හැමදාම ජීවිතය ඒකාකාරීනම් කිසිම හැල හැප්පීමක් , වෙනසක් නැතිනම් ජීවිතේ ලස්සනට තියෙවිද ? නෑ නේද ?
මෙන්න මේ විවිධත්වයට ආදරේ කරන්න.
මේ විවිධත්වය තුල තමයි යාලුවනේ ජීවිතේ ලස්සන තියෙන්නේ...!
සතුට වගේම දුකත් නිරන්තරයෙන් අපේ ජීවිතත් එක්ක බද්ධ වෙලා තියෙනවා. සතුට ආපු වෙලාවට අපි සතු‍ටු වෙන්න ඕන. ඒක ඇත්ත.
නමුත් දුකක් ප්‍රශ්ණයක් ආපු වෙලාවට, ගොඩාක් අය තමන්ගේ මුලු ලෝකෙම වට්ටගෙන ඒ මත්තෙන් විඳවනවා...! මේකද අපි කරන්න ඕන ? නෑ නේද ?
ජීවිතේ ප්‍රශ්ණ එනවා තමයි.ඒත් ඒවා නිසා අපි වි‍ඳෙව්වා කියලා විසදුමක් හම්බෙන්නෙ නෑ.
එහෙනම් මොකද්ද කරන්න ඕන.
එක්කොත් ප්‍රශ්ණෙට විසදුමක් දීල අයින් කරන්න ඕන.
කාලයත් එක්ක විසදුමක් හම්බෙන දෙයක් නම් මනස සැහැල්ලු කරගෙන අනාගතේට මුහුණ දෙන්න ඕන.
ඉතින් කොහොමද අපි සැහැල්ලු වෙන්නේ...?
ඊලග ලිපියෙන් මම ඒ ගැන අදහස් දක්වන්නම්.

විඳින්න තියෙන ජීවිතය...

මේ ලිපිය වැඩියෙන් ම වැදගත් වෙන්නේ "මේකනම් මහ එපා කරපු ජීවිතයක් " කියලා හිතන් ඉන්න අයටයි.(ලිපියක් කිව්වට ලිපි කිහිපයක එකතුවක්)
මේ වගේ ලිපියක් ලියන්න තරම් මහා ලොකූ දනුමක් තියෙන කෙනෙක්නම් නෙවෙයි මම. ඒත් මට හිතෙනවා මගේ අදහස් ඔයාලට ජීවිතේ ගැන ලස්සන ඇසකින් බලන්න , දකින්න හේතුවක් වේවි කියලා.


අපි මේ ලෝකෙ පයගහලා ජීවත් වෙන්නේ අවුරුදු 70 ක්  විතර කාලයක් කියලයි  දැන් දැන් එන වාර්තා වලින් කියන්නේ. මේ ලිපිය කියවන ඔයා තරුණ වියේ, එහෙමත් නැතිනම් මැදි වියේ පහුවෙන අය...!. හරි , අපි කියමුකෝ අවුරුදු 20 යි කියලා. ආ.... එහෙනම් අපිට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු කීයද ??? ඔව්... අවුරුදු 50 යි. ජීවිතෙන් බාගෙකට ආසන්න ගානක් ගෙවිලා ඉවරයි.ඒ වගේම තව චුට්ටක් හිතන්න ඒ ඉන්න පුංචී කාලෙනුත් කොච්චර කාලයක් අපි නිදාගන්නවද කියලා ??? ඔන්න එහෙම බැලුවම අවදියෙන් ඉන්න ඉතුරු වෙන්නේ තවත් පොඩි කාලයක්. නේද යාළුවනේ???


ඉතින් අපි ජීවිතේ එපා වෙනවා කිය කියා කණස්සල්ලෙන් ඉන්නේ මේ අවදියෙන් ඉන්න පොඩි කාලෙ නේද ???


මම හිතන විදිහට ජීවත් වෙනවා කියන්නේ ඒකට නෙවෙයි. තමන්ගෙ වටපිටාවෙ තියෙන හැම දෙයක්ම රසවිදින ගමන්, හිත මිතුරන් එක්ක, පවුලත් එක්ක සතුටෙන් කාලය ගත කරන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඔයාල අහලා ඇති සමහර අය නිතර කියන කියමනක් තමයි " ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙවේ විඳින්න " කියන එක. හරියට හරි. අපි මේ ජීවිතේ හොද අවබෝධෙකින් විඳින්න ඕන. වටේ පිටේ ඉන්න අයට කරදරයක් නොවී, ජීවත් වෙන හැම මොහොතක්ම සතුටින් ගත කරන්න ඕන.


ඉතින් කොහොමද ඒක කරන්නේ ???
ඊලග ලිපියෙන් මම ඒ ගැන අදහස් දක්වන්නම්.