Sunday

ජීවිතේ හැමදාම අළුත්...

යළුවන්ට හිතිල තියෙනවද ජිවිතේ හරියට ගලාගෙන යන ගඟක් වගේ කියලා...!
චුට්ටක් හිතලා බලන්න, ගඟක පටන් ගැන්මේ ඉඳන් අවසානය, ඒ කියන්නේ මුහුඳත් එක්ක එකතුවෙනකං ඒකාකාරයිද ???
නෑ නේද ?
වෙලාවකට දිය දහරා නිසසලව ගලාගෙන බහිනවා. තවත් තැනක වේගෙන් සැඩ පහරක් විදිහට ගලාගෙන බහිනවා. පල්ලම් , තැනිතලා වගේම  අධික බෑවුම් හරහාත් ගලාගෙන බහිනවා. මෙන්න මේ වගේ බෑවුම් හරහා ගලා බහිනකොට තමයි අපි කවුරුත් ආස දිය ඇලි හැදෙන්නෙත්.
ඔයාල අහලා ඇති ගංගාවන් පිලිබඳව රචනා වුණු රසවත් නිර්මාණ.
උදාහරණයක් විදිහට අපිට පාසල් සිංහල පෙළ පොතක තිබුණු එච්.එම්.කුඩලිගම කවියාගේ 'ගංගාවේ ගීතය' මතකද ?  මට මතක හැටියට 8 ශ්‍රේණිය පෙළ පොතේ තමයි තිබුනේ.
"සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසුනොබසිමි නොනවතිමි......"  ම් ම් ... තාමත් ටිකක් ටිකක් මතකයි මට
ආ දැන් චුට්ටක් හිතන්න අතීතයේ ඉදන් සාහිත්‍ය රසාස්වාදීන්, කවියන්, ගීත රචකයන් ගංගාවන් වර්ණනා කරන්නේ ඇයි ..?
එක ගානට මිම්මට බෑවුම තියෙන කොන්ක්‍රීට් වලින් හදපු වාරිමාර්ග ඇළක් මෙහෙම වර්ණනා කරයිද ...?
නෑ නේද ?  ඇයි ඒ  ?
ගංගාව සුන්දරයි, ලස්සනයි.
ඒකෙ ලස්සන තියෙන්නෙ ඒකාකාරීබව නැති කමේ නේද ? චුට්ටක් හිතන්න යාලුවනේ....!
ආ... දැන් බලන්න ජීවිතය දිහා. හැමදාම ජීවිතය ඒකාකාරීනම් කිසිම හැල හැප්පීමක් , වෙනසක් නැතිනම් ජීවිතේ ලස්සනට තියෙවිද ? නෑ නේද ?
මෙන්න මේ විවිධත්වයට ආදරේ කරන්න.
මේ විවිධත්වය තුල තමයි යාලුවනේ ජීවිතේ ලස්සන තියෙන්නේ...!
සතුට වගේම දුකත් නිරන්තරයෙන් අපේ ජීවිතත් එක්ක බද්ධ වෙලා තියෙනවා. සතුට ආපු වෙලාවට අපි සතු‍ටු වෙන්න ඕන. ඒක ඇත්ත.
නමුත් දුකක් ප්‍රශ්ණයක් ආපු වෙලාවට, ගොඩාක් අය තමන්ගේ මුලු ලෝකෙම වට්ටගෙන ඒ මත්තෙන් විඳවනවා...! මේකද අපි කරන්න ඕන ? නෑ නේද ?
ජීවිතේ ප්‍රශ්ණ එනවා තමයි.ඒත් ඒවා නිසා අපි වි‍ඳෙව්වා කියලා විසදුමක් හම්බෙන්නෙ නෑ.
එහෙනම් මොකද්ද කරන්න ඕන.
එක්කොත් ප්‍රශ්ණෙට විසදුමක් දීල අයින් කරන්න ඕන.
කාලයත් එක්ක විසදුමක් හම්බෙන දෙයක් නම් මනස සැහැල්ලු කරගෙන අනාගතේට මුහුණ දෙන්න ඕන.
ඉතින් කොහොමද අපි සැහැල්ලු වෙන්නේ...?
ඊලග ලිපියෙන් මම ඒ ගැන අදහස් දක්වන්නම්.

No comments: