Saturday

ඌරෙක් නිසා 1 _ එකයි පනහේකෑලි දෙක



ඕන්න යාලුවනේ කාලෙකට පස්සේ මීදුම් ආයෙත් ආවා. එයාට පොත්පත් වල වැඩ ඒ කිව්වෙ ඉතින් අධ්‍යාපනික වැඩ ගොඩාක් ආවා එක දිගටම. ඒකයි සිත්තම් අඳින්න ඉස්පාසුවක් නැති උනේ. ඒ ගැන විස්තර ඉස්සරහට කියන්නම්කෝ.
අද මීදුම් කියන්න යන්නේ එයාට ඉස්කෝලෙ යන කාලෙ උනු එක්තරා අකරතැබ්බයක්. අකරතැබ්බය ඇත්තටම උණේ මීදුම්ට නෙවේ. එයාගෙ පන්තියේ හිටපු යාළුවෙකුට. එහෙම කිව්වට ඉතින් පන්තියේ හිටපු ගොඩක් අය ඒ යාළුවා නිසා නියම කට්ටක් කෑවා. ඉස්කෝලෙ යන කාලෙ කන තරමක් ක‍ටු කන්නෙ යාළුවො නිසානෙ නේද යාළුවනේ. ඒකට අපි කිව්වෙ 'බොකු ‍ෆිට්' එක කියලා. ඒ කියන්නෙ බොක්කෙන් ම ‍ෆිට්.
මේ සිද්ධිය උනේ මීදුම් පොඩි පෙළ කරන්න ආපු අළුතම වගේ. ඒ කාලෙ මීදුම්ගෙ සෙට් එකට අමුතු අමුතු  උණවල් ගහලයි තිබ්බෙ. මොකද ඒ කාලෙ තමා මීදුම් එහෙම 'කොට කලිසං' කාලෙන් 'දිග කලිසං' කාලෙට පැන්නේ.ඔය කාලෙට ඉතින් කොහොමත් කාට කාටත් එක එක උණවල් හැදෙනවනේ. මොකද අවුරුදු දහයක් විතර 'කොට කලිසං' ඇඳලා එක පාරටම 'දිග කලිසමට' බැස්සම අමුතුම අය්යා පාර්ට් එකක් ඔලුවට වදිනවා. හරියට නිකං ක‍ටුස්සගෙ කරේ රත්තරං බැන්ඳාවගේ.
ඔව්ව ඉතින් කොහොමත් බොහොම සාමාන්‍ය දේවල්.
ඒ කාලෙට කට්ටියට හැදෙන එක උණක් තමයි මේ පවුලක් පන්සලක් ගොඩනගාගන්න ඕන කියන එක. අතේ සතපහ නැති උනාට මොකද දිග කලිසම ඇඳගත්තම සමහරුන්ගෙ හිතේ ඔක්කොම හරි කියලා. මෙන්න මෙහෙම හිතපු කෙනෙක් තමා 'ඌරා'. (මිනිහගේ සැබෑ නමේ සාරයෙන් මිදුම්ලා එහෙම ගොඩනගාගත්තු නම තමයි 'ඌරා' කියන්නෙ. මෙහෙම කිව්වට මොකෝ මිනිහගෙ ඇඟේ මස් කලඳක් නෑ.)
ඌරා අපිත් එක්ක ඉන්න ගමන් හී සර පාර විදලා තියෙන්නේ අපිට වඩා වයසින් අඩු පන්තියක හිටපු මෙනෙවියකට. මේ මෙනෙවියත් එසේ මෙසේ එක්කෙනෙක් නෙවෙයි. අමුතුම ඇවතුම් පැවතුම් තිබුණු මානවිකාවක්.
මේ මෙනෙවියට හිටියා නියම ම යාළුවෙක්. ඔලුවටත් වඩා ලොකු කණ්නාඩි දෙකක් දැම්ම නිසා කට්ටියට එයාවත් හොඳට නෝට්. මේ දෙන්නා එකට තමා කොහේ ගියත්  යන්නේ.
කොහේ ගියත් කිව්වට ඉතින් මේ දෙන්නගෙ වැඩේ ටොයිලට් යන එක.
එක එක පීරියඩ් එකක් ඉවර වෙනකොට ම මෙන්න ඩබල ටොයිලට් යනවා. ඒ ගියාට ටොයිලට් එක ලඟට ගිහින් මුන් දෙන්නා ආයෙත් හැරිලා එනවා මීදුම්ගෙ යාළුවෝ  ඕනි තරම් දැකලා තියෙනවලු. පස්සෙ තමා කට්ටියට මීටර් උනේ දිග කලිසම් ඇන්දෙ නැති උණාට ඒ මානවිකාවියන්ටත් පවුලක් පන්සලක් වෙන්න ඕනය කියන අධිෂ්ඨානය ඇවිත් කියලා. කට්ටියටම පේන්න තමයි මේ නිතරම එහා මෙහා යන්නේ. මොකද එයාල ඉන්න පන්තියේ ඉඳන් අර මම කිව්ව ගමන යනකොට ඉස්කෝලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය කරන්න ඒ දෙන්නට පුලුවන්. පස්සෙ පස්සෙ මේ දෙන්නට කට්ටිය ගහපු පට්ටම තමා 'එකයි පණහේ කෑලි දෙක' කියන එක.මොකද කට්ටිය හිතන් හිටියේ මුන් දෙන්න හරි ලාබයි කියලා. පස්සෙයි තෙරුණේ හිතපු තරම්ම ලාබත් නෑ කියලා.
ඉතින් ඔන්න අපේ 'ඌරා' මේ දෙන්නගෙන් අර කණ්නාඩි නොදාපු මානවිකාවියට තමන්ගෙ හද මඬලේ බුර බුරා නැගෙන පිවිතුරු වූ අවංක නිසසල නිකැළැල් සිතුවිල්ල පවසලා. කෙල්ල මේකට පැන්න ගමන් "බැහ්" කියලා. ඒ ඉතින් කොහොමත් ඒ වර්ගයේ හැටිනේ.
අපේ ඌරත් පසුබට වෙලා නෑ. ඌත් එඩිතරව නොපැරදී මුහුණ දීලා. කොහොම කොහොම හරි මානවිකාවියගෙ ගෙදර ෆෝන් නම්බර් එක හොයාගෙන රෑ ජාමෙ කෝල් එකකුත් දීලා. අපේ ඌරගෙ ඌරු කමට මක් කරන්නද. යන්තම් උගේ වෙලාවට අනික් පැත්තෙන් කතා කරලා තියෙන්නෙත් අර මානිවිකාවියමයි. මූට දිව උලුක් වෙලා කතා කරගන්න බැරිව "හක් බික් බුක් බග් බග්" කියලා තප්පුලලා. කොහොම කොහොම හරි අර මානවිකාවිය කටහඬ අඳුනගෙන.
"හහ්, තමුසෙට කරන්නම් වැඩක්" කියලා කට් කරලා.

...මතු සම්බන්ධයි...

No comments: