Friday

හීන් සැරය 2 _ ශේප් වීම


ඔන්න එදා පන්ති ඉවර වෙලා ගෙදර ගිහිනුත් මීදුම්ට අවුල්ලු. ඇයි ඉතින් කවදා කාපු රෝස් පාන් ද හා හා පුරා කියලා ගිය මෙගා class එකේදි කෑවේ. ඒ ඔක්කොමත් හරි, අර බ්‍රේක් කාරයගෙ චාටර් හිනාව තමා ඉවසන්න බැරි.
ඔන්න කොහොම කොහොම හරි ඊලඟ සෙනසුරාදා දවසත් ආවලු.උදේම මීදුම් පන්තියට යද්දි බ්‍රේකුත්ඉන්නවලු උදෙන් ම ඇවිත්. මොකද උදේ ගණන් පන්තිය තිබුනේ බ්‍රේක් ඉන්න පලාතේ හෝල් එකක.
තනියම මුල්ලකට වෙලා ඉන්න බ්‍රේක් ගාවට අඩියට දෙකට ගිය මීදුම් බ්‍රේක්ට සද්දයක් දැම්මලු. සද්දයක් කිව්වට ඉතින් සද්දයක්මත් නෙවෙයි. ටිකක් සැරෙන් ඇහුවලු ගිය සතියේ උනු සිද්දිය ගැන. ඒ කිව්වෙ ඉතින් මේ බෝ පැලේ වගේ ඉන්න අසරණ අහිංසක සත්ගුණවත් මීදුම් මහතාව 'බයිට්' එකට ගැනීමේ සිද්දිය සම්බන්දව.
අනේ ඉතින් මේ 'චණ්ඩියට' බය උනු ( ඒ වගේ පෙන්නපු ) බ්‍රේක් සද්ද නැතිව හිටියලු. මේ වෙනකොට ඉතින් පන්තියට ලමයි එන්න පටන් අරන්.
කවදාවත් නැතිව නහුතෙට තද වෙලා ඉන්න 'අහිංසක' මීදුම් දිහා කට්ටිය බල බලා යනවලු. මේකෙන් තවත් ෆෝම් උනු මීදුම් දැන් සිද්දියෙන් පිට ගිහින් වෙන වෙන ඒව කියලත් අර බ්‍රේක්ට බනිනෝලු. ඇරත් තැලෙන යකඩ උඩ පැන පැන තලනවලුනේ.
ඔන්න ඉතින් ටික වෙලාවකින් බ්‍රේක්ගෙ රතු කට්ට පැන්නලු.
වෙලාව කියන්නේ, බ්‍රේක්ට තද වෙනකොට මීදුම්ගෙ රෙඩ් ලයිට් ඕෆ්ලු. යාන්තන් කූල් ඩවුන්.
දැන් ඉතින් බ්‍රේක් වලියකටමයි  ලෑස්තිය. මීදුම්ට මුලින් කෙන්ති ගිහින් තිබුනට දැන් ශේප්නේ. ඒක නිසා ඕක දිගින් දිගටම ගෙනියන්න මීදුම්ට කිසි උවමනාවක් තිබුනේ නෑ. ඇරත් කවුද අප්පා දුම්කොල නැට්ටට රන්ඩු කරන්නේ (වලස් මාමයි, වලස් නැන්දයි ඇරෙන්න)
ඒ උනාට බ්‍රේක් දැන් දැන් දාන කතාවෙන් මීදුම්ට මීටර් උනාලු එන පොට හොඳ නෑ කියලා. ඔන්න එතකොටලු අපේ මිදුම්ගෙ ටියුබ් ලයිට් එකත් පත්තු උනේ.
' මේක බ්‍රේක් කාරයගෙ ගමනේ.......! '
දැන් මීදුම් ශේප් එකටමයි කතාව. බ්‍රේකුත් දන්නවා මීදුම් ඉස්සෙල්ලා බොරුවට බෙරිහන් දුන්නට මීදුම් 'හොඳ ලමයා' කියලා. ඉතින් බ්‍රේකුත් පස්සෙ ශේප් උනා. හැබැයි හවස පන්තියෙ අර මීදුම්ව බයිට් කරපු හයි ෆයි පොරට මේ උන සිද්දිය කියනවා කියලත් කිව්වා. මීදුම් ඉතින් ඕක එච්චර ගණන් ගත්තෙ නෑ.
කොහොම කොහොම හරි මරු වැඩේ කියන්නෙ උදේ මීදුම් බ්‍රේක්ට සද්දෙ දානවා දැකපු මේ ගණන් පන්ති එන වෙන සෙට් එකක්, ඒ පන්තියටම එන බ්‍රේක්ගෙ යාළුවෙක්ට ( ඒ කියන්නෙ ගමේම ඉන්න එකෙක්ට) සද්දයක් දාල.
මීදුම් පස්සෙ තමා දැන ගත්තෙ ඒක ගොඩාක් පරණ කෝන්තරයක්ලු. මීදුම් වගේ එකෙකුත් සද්දෙ දාන එකේ උන්ගෙත් ගට්ස් නැගලා තමා සද්දෙ දාලා තියෙන්නෙ. පව් අසරණයෝ. උන්ට කොහොම හරි දැනගන්න බැරි උනා මීදුම් බ්‍රේක් එක්ක ශේප් උනා කියන එක.
මං අසරණයෝ කිව්වේ එදා ගණන් පන්ති ඇරිලා උන් දවල්ට බඩ කට පිරෙන්න කාපු හැටි දැකලා.
දෙවියනේ එහෙමත් කෑමක්. ජීවිත කාලෙට ම හරියන්න කෑවා. කොහොම කොහොම හරි එයාලගෙන් එක්කෙනෙක් අන්තිමට ඉස්පිරිතාලෙත් නැවත්තුවා.
ඔන්න ඕකයි කියන්නෙ 'ගමට ගිහින් ඒකෙම උන්ට සද්දෙ දානෝ නෙවී' කියලා .පුරාණ පඬිවරු ඕවා කිව්වෙ කට කහනවටයෑ.
මේ ඔක්කොම දිහා පැත්තකට වෙලා උපේක්ෂා සහගත සිතින් බලා හිටපු මීදුම් එයාගෙ ටියුබ් ලයිට් එක පරක්කු වෙලා හරි පත්තු වීම ගැන 'හිතට' වැඳ වැඳලු හිටියේ. නැත්තං එදා දවල්ට මීදුම්ටත් අපේ කම දන්න ගමේ හොඳ හෝටලේකින් බඩ කට පිරෙන්න කන්න වෙනවා.
එදා මීදුම්ගෙ වාසනාවන්ත දවසක්. මොකද කියලා ඊලඟ කොටසින් බලමු නේද යාලුවනේ.

...මතු සම්බන්ධයි...

Monday

හීන් සැරය 1 _ අලුත් පන්තිය


ඔන්න මීදුම් පොඩි පෙළ කරන කාලෙ උනු සිද්දියක් තමා මේ.

මහ පෙළට ජීව විද්‍යාව කලාට මොකෝ පොඩි පෙළ කරන කාලෙ නම් මීදුම් අකමැතිම විෂය තමා විද්‍යාව. ඒ වගේම විභාගෙට ලැබෙන ලකුණුත් සැලකිය යුතු විදිහට අඩු උන නිසා මීදුම්, විද්‍යාව ටියුෂන් පන්තියකට යන්න හිතාගත්තලු.
පුරයේ තියෙන පන්ති ඔක්කොම විශ්ලේෂණය කරලා, වැඩියෙන් ම ලමයි හිටපු පන්තිය ‍තෝරගෙන දැන් ඉතින් මේකට යන්නයි මීදුම්ගෙ ලෑස්තිය. මීදුම්ගෙ පුරයේ පොඩි පෙළට පන්ති පන්ති පැවැත්වුනේ සෙනසුරාදා. එදා උදේ මීදුම්ට ගණන් පන්ති. එදාම හවස තමා මීදුම් යන්න ප්ලෑන් කරගෙන ඉන්න විද්‍යාව පන්තියත් තිබුනේ.
ඔන්න ඉතින් හා හා පුරා කියලා අපේ මීදුම් විද්‍යාව පන්තියට ගියාලු. පලවෙනි දවසනේ ඉතින්. පන්තිය පටන් ගන්න පැය බාගෙකට විතර කලින් කොහොමහරි පන්තියේ මැද හරියේ ඩෙස්ක් එකක පොත් ටික තියලා එලියට ආවලු.
මීදුම් ජීවිතේ ඉස්සෙල්ලම එදා තමා මෙගා class එකකට ගියේ. අප්පේ එන ළමයි කන්දරාව...!
එයාගෙ පුරේ එච්චර පොඩිපෙළ ළමයි ඉන්නවා කියලා මීදුම් හීනෙකින්වත් හිතලා තිබුනේ නෑ. කොහොම කොහොම හරි දැන් ඉතින් ඉදගන්න තැනකුත් හරිනේ. ඉතින් පොඩ්ඩක් වට පිට බලන්න මීදුම් ටිකක් ඇවිද්දා.
මෙහෙම ඇවිදිද්දී මීදුම් දැක්කා ඈතින් ඉන්න කොට ඩයල් එකක්. පොඩ්ඩක් දැකලත් පුරුදුයි. කිට්‍ටු කරලා බැලින්නම් අඩේ මේ අපේ ' බ්‍රේක් සුමනෙනේ '.
මිනිහගේ නම හැදුනෙ පිය පුතු උරුමයෙන්. ඇත්තම කිව්වොත් මිනිහගෙ තාත්තා තමයි සුමනේ. ඩිපෝවෙ බස් එකක තමයි තාත්තා  වැඩ කලේ. එයා ඩ්‍රයිව් කරනකොට බස් එක කන්දක් නගිනකොට පවා බ්‍රේක් ගහන නිසා තමා නිකං ' සුමනේ ' බ්‍රේක් සුමනේ උනේ.
ඉතින් මේ බ්‍රේක් සුමනේ උදේ මීදුම් යන ගණන් පන්ති එන, පැත්තකට වෙලා ඉන්න වැඩි සද්දයක් නැති එකෙක්. ඇත්තම කිව්වොත් මීදුම් ගණන් පන්තියෙදි බ්‍රේක්ව ගණන් ගත්තෙවත් නෑ. මිනිහා නිකං ගෙඳ පනුවා වගේ ඉන්න ලේඩි ඩයල් එකක්නේ. ඒකයි ඒ.
මීදුම්ගෙ යාලුවො සෙට් එක යන්නෙ වෙන පන්තියකට නිසා කතා කරන්නවත් එකෙක් නැති එකේ මිදුම්ත් හෙමීට හෙමීට බ්‍රේක් පැත්තට කිට්‍ටු කලාලු. බ්‍රේක්  ඈත තියාම මීදුම්ව දැකලා මිනිහා ලඟ හිටපු හොඳට ඇඟ පත තියෙන එකෙක්ට ඇගිල්ලෙන් ඇනලා මීදුම්ව පෙන්නුවලු. මීදුම්ත් මේක එච්චර ගනන් ගන්නෙ නැතිව බ්‍රේක් පැත්තට ගියාලු.
ඔන්න ඊට පස්සේ අර හයි ෆයි පොර මීදුම්ට " සූ  සූ " පාරක් දාල කතා කලා. බ්‍රේකුත් ඉන්නවනේ. අවුලක් නෑ කියලා හිතලා මීදුම්ත් අඩියට දෙකට එතනට ගියා.
අඩේ ඊට පස්සෙනේ ෂෝ එක.
වටේ පිටේ හිටපු මෙගා සයිස් ඇඟ පත තියෙන දෙන්නෙක් තුන්දෙනෙක් වට වෙලා මීදුම්ගෙ නම අහනවලූ. ඉස්කෝලෙ අහනවලූ. ෂ්ර්ට් එක ගත්තෙ කොහෙන්ද අහනවලූ  පර්ස් එක අරන් බලනවලූ. කොටින්ම කියනවනම් මුන් ටික මීදුම්ව බයිට් කරනවලු. මුලින් තේරුනේ නැතත් ටිකක් වෙලා යද්දි මීදුම්ගෙ ටියුබ් ලයිට් එක පත්තු වෙලා මීටර් උනාලු ලයින් එක. අඩේ මේ බලාපල්ලකො, අරහෙ ලේඩි ලීලාවෙන් ඉන්න බ්‍රේක් මෙහෙදි පොර වෙලානෙ. මූත් මේවා දිහා බලාගෙන හිනා වෙනවලු.
ඔන්න ඉතින් හොඳ මීදුම් බොඳ මීදුම් වීගෙන එනවලු දැන්. රතු කට්ට පැනීමට ආසන්න වීගෙන එද්දි අම්මෝ ඇති යන්තන් පන්තිය පටන් ගන්න කාඩ් මාක් කරන්න කතා කලාලු.
කොහොමහරි එදා පන්තියේ හිටියට මීදුම් හිටියේ බ්‍රේක්ට මොකක් හරි මරිසියක් අදින්න හිත හිතා...

...මතු සම්බන්ධයි...

Friday

සිතින් විතරක්...!

ඔන්න  අද නම් මම කියන්න යන්නේ මීදුම්ට උනු එක අත්දැකීමක්.
ඔන්න මීදුම් පොඩි පෙළ එහෙම පාස් වෙලා මහ පෙළට කලේ ජීව විද්‍යාවලු. ඉතින් ඔය කාලෙ ගොඩාක් සුන්දර , ඒ වගේ ම දුක හිතෙන සිද්දිත් ගොඩාරියක් උනාලු.මේකත් ඒ වගේ උනු එක සිද්දියක්.
මීදුම් හිටිය පුරයේ මහ පෙළට ටියුෂන් තිබුනේ ගොඩාක් අඩුවෙන්. ඉතින් ලඟ තිබුණු මාණික්‍ය නගරෙට යන්න ඕන ටියුෂන් වලට. ලඟ කිව්වට ඉතින් පැය දෙකක් විතර බස් එකේ කොටන්න ඕන එහාට යන්න.
මීදුම්ගෙ බැච් එකේ පෙර පිනක්ද මන්දා ඒ අවුරුද්දෙ ම මාණික්‍ය නගරේ හිටපු නම් දරාපු සර්ලා සෙට් එකක් එයාගෙ පුංචි පුරේට ආවා. අපරාදෙ කියන්න බෑ ඒ සර්ල නිසා මීදුම්ගෙ පුරේ ගොඩක් අය සරසවි වරම් ලැබුවලු. මීදුම්ත් ඒ සෙට් එකේ ඉන්නවලු.
මේ සර්ලට නිවාඩු කාලයක් පේන්න බෑ. අමතර ටියුෂන් පන්ති දැම්මා මහපෙළ එපා වෙන්න ම. හැබැයි ඉතින් කට්ටියම මැදහත් සිතින් හැම පන්තියකටම සහභාගි උනා. ඒ කාලෙ සර්ලගෙ අම්ම අප්පට හචින් එකක් දෙකක් යැව්වට මොකෝ මීදුම්ත් ඒ පන්ති වලට ගියා.
අවුල කියන්නේ මේ පන්ති දැම්මේ මාණික්‍ය නගරේ. ඕක මහ එපා වෙන වැඩක්. සතියෙන් වැඩි දවස් ගානක් , බස් වල පැය ගානක් රස්තියාදු වෙවී එහාට යනේක තරම් එපා වෙන වැඩක් මීදුම්ට වෙන තිබුනේ නෑ.
ඔන්න ඕවා අස්සේ තමා එක දවසක් මීදුම්ගෙ රබර් ඇහැට මීටර් උනේ එයා යන රසායන විද්‍යා  පන්ති එන ලස්සන ගැහැණු ළමයෙක්. මෙයාගෙ තිබුනෙ අමුතුම ලස්සනක්ලු. හැම පිරිමි ළමයෙක්ට ම මීටර් වෙන්නෙ නැති ලස්සනක්ලු මෙයාට තිබුනේ. අපේ මීදුම්ටත් ඉතින් ගොඩාක් සතු‍ටුයිලු. හෙන ගේමක් දීලා එයාගෙ නමත් මීදුම් හොයාගත්තලු. එයාට තිබුනේ සංගීත භාණ්ඩෙක නමක්. අපි කියමුකෝ වීණා කියලා.
මෙච්චරකල් නාහෙන් අඬ අඬා පන්ති ආපු එකේ දැන් හේතුවක් තියෙනවනේ පන්ති එන්න. මේක පොඩී කණ්ඩායම් පන්තියක් නිසා වීණා දිහා බලා ඉන්න එක එහෙම එච්චර අමාරු උනේ නෑලු.පොඩි කිව්වට ඉතින් පන්තියෙ ළමයි පනහක් විතර හිටියා.
මීදුම් ඉතින් සර් ගාණක් එහෙම දුන්නම පට ගාලා හදලා මෙයා දිහා බලන් ඉන්නවලු. ඔන්න ඉතින් මෙහෙම ටික දවසක් යද්දි  වීණාටත් මීටර් උනාලු මීදුම්කාරයගෙ රබර් ඇහැ. කෙල්ලත් ඒකට මොකද කියන්න එයාගෙ වගකීම් යුතුකම් හොඳට ඉ‍ටු කලාලු. තියෙනවා කියන හැට හතරෙන් එකක් දෙකක් දාද්දි මීදුම්ත් හිතුවේ වැඩේ ගොඩ තමයි කියලා.
කොණ්ඩෙ හදනවා, හොරෙන් බලනවා, හරහට බලනවා, කෙලින් බලනවා, ඇස් කොනෙන් බලනවා, වැඩ ගොඩායිලු ඉතින්.
ඔන්න ඔහොම සිතින් විතරක් පෙම් කර කර කාලෙ ගත උණාලු.  අපේ මීදුම් හිතින් එක එක ඒවා හිතුවට වීණත් එක්ක ඕවා කියන්න තරම් හයියක් තිබුනේ නෑ. හැඟීමක් දෙකක් ආවට මීදුම් තාම පොඩි එකාලු. කිසිම අත්දැකීමකුත් නෑනේ.හිතින් විතරයි ඉතින් ඔක්කොම.
ඇරත් මීදුම්ට කොහොමහරි විභාගෙ පාස් වෙන්නත් ලොකූ උවමනාවක් තිබුනා. පන්තියේ ගැහැණු ළමයෙක් දිහා බලන් ඉන්නවා වගේ නෙවෙයිනේ ඉතින් 'දාගත්තම'.
ඔක්කොම හොයන්න බලන්න ඕන. යන යන තැන පස්සෙන් යන්න ඕන.වියදම් කරන්න ඕන.
ඕවා කරන්න තාම මීදුම් පොඩි වැඩියි කියලයි මීදුම් ඒ දවස්වල හිතන් හිටියේ.
කොහොම කොහොමහරි මහපෙළ විභාගෙත් ළං උනාලු. පන්ති වල ඉතින් අන්තිම දවසකුත් තියෙනවනේ. විභාගෙන් පස්සේ කට්ටිය හොයාගන්නවත් නැතිවෙන නිසා පන්තියේ සර් යොජනා කල පරිද්දෙන් විභාගෙට කලින් ම පාටියකුත් තිව්වා.ඔන්න ඕකෙදි තමා මීදුම්ට ලස්සන වැඩක් උනේ.
කට්ටිය කන බොන අතරෙදි ඉතින් ගුණ වර්ණනා, ශෝක ගායනා එහෙම තියෙනවනේ. ඕවා කෙරීගෙන යද්දී වීණත් නැගිටලා මීදුම්ටත් ඉඟියක් දාලා පන්තිය ඉස්සරහට ගියාලු.
පටන් ගත්තලු ගීතයක්.
"අහසට සොඳුරුද  සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රළ කෙතරම්
එතරම් මිහිරියි ඔබ මට නම්

හිත ලඟ පෙම්බරකම් සඟවා
යන එන මග ඉඟි බිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දු‍ටුවොත් වෙන අය වෙයි සතුරන් "

ගීතයේ ඔය පද ටිකෙන් පස්සෙ මීදුම්ට මොනවත් ඇහුනෙ නෑලු. ඇරත් වීණා ඔය ටිකත් කිව්වෙ අපේ අහිංසක මීදුම්ගෙ මුහුණ දිහා බලාගෙනලු.
ඒ විතරක් නම් මදෑ. වීණා ගීතය කියලා ඉවර වෙනවත් එක්ක ම පන්තියේ ගැහැණු ළමයින්ගෙ පැත්තෙන් මීදුම්ට පොඩි චිට් එකක් ආවලු
"මීදුම් , වීණා කියපු සින්දුව හරි ලස්සනයි නේද ??? " කියලා.

Thursday

ජීවිතේ හරි ලස්සනයි...

ඇත්තටම ජීවිතේ ලස්සනද???
අපි කොහොමද ජීවිතේ ලස්සන කරගන්නේ???


ඔව් යාළුවනේ, ජීවිතේ ගොඩාක් ලස්සනයි. කියාගන්න බැරිතරම් ලස්සනයි. අපිට ඒ ලස්සන 'පෙනිලා'  තියෙනවා. ඒත් ගොඩාක් අය ඒ ලස්සන 'බලලා' නෑ.
මොකද, අපි හැමෝම කෙනින් කෙනාට වෙනස්. වෙනස් වෙනස් මිනිස්සු ලෝකය දකින්නෙ වෙනස් වෙනස් විදිහට.ඒකයි ඒ.
මට දැනෙන විදිහට මගේ ජීවිතේ මට දැනුනු දේවල් කිහිපයක් කියන්නම්.


වැස්සක් වහිනකොට ගොඩක් දෙනා කියන්නෙ "ආපෝ ! අදත් වැස්ස...දවසම ඉවරයි..."
ඒත් ඔයාලට ඇහිලා තියෙනවද ඔයාල අතරෙ ම ඉන්න සමහර අය " ෂා නියමයි, අදත් වැස්ස නිසා දවසම cool " කියනවා.
මට දැනෙන්නෙත් එහෙමයි.
වලාකුළු වලින් අහස වසාගත්තම තියෙන අත්භූතබව, පරිසරේ කෙමෙන් කෙමෙන් වෙනස් වෙන හැටි, වැස්ස වහිනකොට වැහිබින්දු බේරෙන ලස්සන, හිරිපොද ඇඟට වැටෙද්දි දැනෙන සීතල, මෙන්න මේ හැම දෙයක් ම විඳින්න යාළුවනේ.
ඔන්න ඒ වගේමයි ඉතින් අව්ව තියෙනකොටත්.
හිරු ‍රැස් පොළොව සිපගන්න හැටි, ගස් වැල් වල සෙවනැලි මහපොළොව මත චමත්කාරජනක දර්ශණ මවන හැටි, කොච්චර අපූරුද...?
සොබාදහමේ චමත්කාරයට ආදරේ කරන්න යාළුවනේ. හැම මොහොතක ම සොබාදහමේ ලස්සනත් එක්ක ජීවත් වෙන්න උත්සහ කරන්න.


මගේ යාළුවෝ විඳලා තියෙනවද හැන්දෑවට ඉර බැහැගෙන යනකොට අහසෙ තියෙන ලස්සන ?
වලාකුළු වලට මුවා වෙලා ඉර අපිට සමුදෙද්දි කෙමෙන් කෙමෙන් වැඩි වෙන සීතල, ඈත අහසේ කුරුල්ලන් යන හැටි, පරිසරේ හෙමීට අඳුරු වෙන හැටි, අහස නිල් පාටින් කහපාට වෙලා පස්සෙ රතූ පාටට හැරෙන හැටි....!
එතනින් පස්සෙ උදාවෙන රාත්‍රිය. ම්ම්ම්ම්....! කියාගන්න බැරි තරම් අපූරුයි.
තරු කැට එකින් එක අහසේ මතුවෙන හැටි.ඒවා එකින් එක පරදමින් දිදුලන හැටි.
පොඩ්ඩක් උත්සහ කරලා බලන්න යාළුවනේ. මුලු ලෝකෙම ඔයාගෙ වගේ දැනේවි.


තමන්ගෙ හදවතේ ගැඹුරු ම තැනට තමන් ළං උණාම මේ ලෝකෙ තියෙන හැම දේකම ලස්සන අපිට දැනෙනවා.
මගේ මේ අදහස් සමහර යාළුවන්ට අමුතු දේවල් වෙන්නැති. ඒත් ලස්සන ඇසකින් ලෝකෙ දකින දාට දැනේවි හැමදේකම ලස්සන.

Monday

සැහැල්ලුව...

ප්‍රශ්ණෙකින් ඔලුව පිරිලා තියෙද්දි කිසිම විසඳුමක් එන්නේ නෑ.
ඒ වගේම කිසිම සැනසීමකුත් නෑ.
ඒ වගේම අපිට ප්‍රශ්ණයක් ආපු වෙලාවට අපි තනිවෙන්න හොඳත් නෑ.
තමන්ගේ මනස සැහැල්ලු කරගන්න ඕන.
ඉතින් කොහොමද මනස සැහැල්ලු කරගන්නේ ?


ඒ වගේ වෙලාවට කරන්න ඕන තමන්ගෙ ලගම හිතවතෙක්, යාළුවෙක් එක්ක තමන්ගෙ හිතේ තියෙන හැමදේම කියන එක.
තමන්ව තේරුම් ගන්න පුලුවන්, විශ්වාසය තියන්න පුලුවන් කෙනෙකුට තමයි ඉතින් හැමදේම කියන්න ඕන.
සාකච්ඡා කරන්න ඕන.
ඔයාලට හිතෙන්න පුලුවනි ' ඉතින් එහෙම කළා කියලා විසඳුමක් හම්බෙන්නේ නෑනේ ' කියලා. ඇත්ත . සමහරවිට විසඳුමක් නොලැබෙන්න පුලුවනි. ඒත් හිත සැහැල්ලු වෙනවා. පුදුමාකාර විදිහට හිත සැහැල්ලු වෙනවා. ඉතින් එතනින් එහාට, තමන්ගේ කලබල හිතෙන් නොලැබුණු විසඳුම් ලබෙන්නත් පුලුවනි.


හිත සැහැල්ලු කරගන්න තවත් විදිහක් තමයි තමන්ගෙ දිනපොතේ වගේ හිස් පි‍ටු කිහිපයක, හිතට එන අදහස් සියල්ල ඒ විදිහට ම ඔහේ ලියාගෙන යන එක. මේක නිදහසේ පෑන හසුරුවාගෙන , ගලාගෙන එන සිතුවිලි එහෙම ම ලියන කලාවක්.
මෙහෙම පි‍ටු ගානක් පිරෙනකං ලියවෙන්න පුලුවනි ඒත් දිගටම ලියාගෙන යනකොට එක වෙලාවක් එනවා ලියන්න කිසිම දෙයක් නැති. අන්න එතනින් එහාට තමන්ගෙ හිතේ තියෙන සෑහෙන්න ලොකු බරක් අයින් උනා වගේ දැනේවි.ලොකූ සැහැල්ලුවක් දැනේවි.
මම කිව්ව කරුණු මහා ලොකූ දේවල් නොවෙන්න පුලුවනි.නමුත් මේවා මං වගේම මගේ ලඟම යාළුවොත් අත්විඳලා තියෙනවා. ඒ වගේ සැහැල්ලු වෙලා තියෙනවා.


ඉඩෝරෙට ඉරිතැලිලා ගිය මහපොළොවට පිණි වැස්සත් මහ මෙරක් වගේ.

Sunday

ජීවිතේ හැමදාම අළුත්...

යළුවන්ට හිතිල තියෙනවද ජිවිතේ හරියට ගලාගෙන යන ගඟක් වගේ කියලා...!
චුට්ටක් හිතලා බලන්න, ගඟක පටන් ගැන්මේ ඉඳන් අවසානය, ඒ කියන්නේ මුහුඳත් එක්ක එකතුවෙනකං ඒකාකාරයිද ???
නෑ නේද ?
වෙලාවකට දිය දහරා නිසසලව ගලාගෙන බහිනවා. තවත් තැනක වේගෙන් සැඩ පහරක් විදිහට ගලාගෙන බහිනවා. පල්ලම් , තැනිතලා වගේම  අධික බෑවුම් හරහාත් ගලාගෙන බහිනවා. මෙන්න මේ වගේ බෑවුම් හරහා ගලා බහිනකොට තමයි අපි කවුරුත් ආස දිය ඇලි හැදෙන්නෙත්.
ඔයාල අහලා ඇති ගංගාවන් පිලිබඳව රචනා වුණු රසවත් නිර්මාණ.
උදාහරණයක් විදිහට අපිට පාසල් සිංහල පෙළ පොතක තිබුණු එච්.එම්.කුඩලිගම කවියාගේ 'ගංගාවේ ගීතය' මතකද ?  මට මතක හැටියට 8 ශ්‍රේණිය පෙළ පොතේ තමයි තිබුනේ.
"සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසුනොබසිමි නොනවතිමි......"  ම් ම් ... තාමත් ටිකක් ටිකක් මතකයි මට
ආ දැන් චුට්ටක් හිතන්න අතීතයේ ඉදන් සාහිත්‍ය රසාස්වාදීන්, කවියන්, ගීත රචකයන් ගංගාවන් වර්ණනා කරන්නේ ඇයි ..?
එක ගානට මිම්මට බෑවුම තියෙන කොන්ක්‍රීට් වලින් හදපු වාරිමාර්ග ඇළක් මෙහෙම වර්ණනා කරයිද ...?
නෑ නේද ?  ඇයි ඒ  ?
ගංගාව සුන්දරයි, ලස්සනයි.
ඒකෙ ලස්සන තියෙන්නෙ ඒකාකාරීබව නැති කමේ නේද ? චුට්ටක් හිතන්න යාලුවනේ....!
ආ... දැන් බලන්න ජීවිතය දිහා. හැමදාම ජීවිතය ඒකාකාරීනම් කිසිම හැල හැප්පීමක් , වෙනසක් නැතිනම් ජීවිතේ ලස්සනට තියෙවිද ? නෑ නේද ?
මෙන්න මේ විවිධත්වයට ආදරේ කරන්න.
මේ විවිධත්වය තුල තමයි යාලුවනේ ජීවිතේ ලස්සන තියෙන්නේ...!
සතුට වගේම දුකත් නිරන්තරයෙන් අපේ ජීවිතත් එක්ක බද්ධ වෙලා තියෙනවා. සතුට ආපු වෙලාවට අපි සතු‍ටු වෙන්න ඕන. ඒක ඇත්ත.
නමුත් දුකක් ප්‍රශ්ණයක් ආපු වෙලාවට, ගොඩාක් අය තමන්ගේ මුලු ලෝකෙම වට්ටගෙන ඒ මත්තෙන් විඳවනවා...! මේකද අපි කරන්න ඕන ? නෑ නේද ?
ජීවිතේ ප්‍රශ්ණ එනවා තමයි.ඒත් ඒවා නිසා අපි වි‍ඳෙව්වා කියලා විසදුමක් හම්බෙන්නෙ නෑ.
එහෙනම් මොකද්ද කරන්න ඕන.
එක්කොත් ප්‍රශ්ණෙට විසදුමක් දීල අයින් කරන්න ඕන.
කාලයත් එක්ක විසදුමක් හම්බෙන දෙයක් නම් මනස සැහැල්ලු කරගෙන අනාගතේට මුහුණ දෙන්න ඕන.
ඉතින් කොහොමද අපි සැහැල්ලු වෙන්නේ...?
ඊලග ලිපියෙන් මම ඒ ගැන අදහස් දක්වන්නම්.

විඳින්න තියෙන ජීවිතය...

මේ ලිපිය වැඩියෙන් ම වැදගත් වෙන්නේ "මේකනම් මහ එපා කරපු ජීවිතයක් " කියලා හිතන් ඉන්න අයටයි.(ලිපියක් කිව්වට ලිපි කිහිපයක එකතුවක්)
මේ වගේ ලිපියක් ලියන්න තරම් මහා ලොකූ දනුමක් තියෙන කෙනෙක්නම් නෙවෙයි මම. ඒත් මට හිතෙනවා මගේ අදහස් ඔයාලට ජීවිතේ ගැන ලස්සන ඇසකින් බලන්න , දකින්න හේතුවක් වේවි කියලා.


අපි මේ ලෝකෙ පයගහලා ජීවත් වෙන්නේ අවුරුදු 70 ක්  විතර කාලයක් කියලයි  දැන් දැන් එන වාර්තා වලින් කියන්නේ. මේ ලිපිය කියවන ඔයා තරුණ වියේ, එහෙමත් නැතිනම් මැදි වියේ පහුවෙන අය...!. හරි , අපි කියමුකෝ අවුරුදු 20 යි කියලා. ආ.... එහෙනම් අපිට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු කීයද ??? ඔව්... අවුරුදු 50 යි. ජීවිතෙන් බාගෙකට ආසන්න ගානක් ගෙවිලා ඉවරයි.ඒ වගේම තව චුට්ටක් හිතන්න ඒ ඉන්න පුංචී කාලෙනුත් කොච්චර කාලයක් අපි නිදාගන්නවද කියලා ??? ඔන්න එහෙම බැලුවම අවදියෙන් ඉන්න ඉතුරු වෙන්නේ තවත් පොඩි කාලයක්. නේද යාළුවනේ???


ඉතින් අපි ජීවිතේ එපා වෙනවා කිය කියා කණස්සල්ලෙන් ඉන්නේ මේ අවදියෙන් ඉන්න පොඩි කාලෙ නේද ???


මම හිතන විදිහට ජීවත් වෙනවා කියන්නේ ඒකට නෙවෙයි. තමන්ගෙ වටපිටාවෙ තියෙන හැම දෙයක්ම රසවිදින ගමන්, හිත මිතුරන් එක්ක, පවුලත් එක්ක සතුටෙන් කාලය ගත කරන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඔයාල අහලා ඇති සමහර අය නිතර කියන කියමනක් තමයි " ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙවේ විඳින්න " කියන එක. හරියට හරි. අපි මේ ජීවිතේ හොද අවබෝධෙකින් විඳින්න ඕන. වටේ පිටේ ඉන්න අයට කරදරයක් නොවී, ජීවත් වෙන හැම මොහොතක්ම සතුටින් ගත කරන්න ඕන.


ඉතින් කොහොමද ඒක කරන්නේ ???
ඊලග ලිපියෙන් මම ඒ ගැන අදහස් දක්වන්නම්.

Saturday

ඇරඹුම...


යාලුවනේ...
මම තමයි මීදුම්. මම නම් තාම ඉගෙන ගන්නවා.වැඩිය සංකීර්ණත් නැති, ඒත් ඉතින් එච්චරකටම සරලත් නැති මගේ ජීවිතේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න තමා මම මේ බ්ලොග් එක හැදුවේ.


මමයි මගේ යාලුවො සෙට් එකයි කරපු පිස්සු වැඩ වගේම මම ජීවිතේ දකින හැටි , මම ‍ෆ්‍රී එකේ ඉන්න වෙලාවට කරපු පුංචි පුංචි නිර්මාණත් මගෙ බ්ලොග් එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.මම හිතනවා ඔයාලා මගෙ බ්ලොග් එකෙන් සියුම් වින්දනයක් වගේම ජීවිතේටත් යමක් එකතු කරගනීවි කියලා.