Thursday
ඌරෙක් නිසා 2 _ එකයි පනහේකෑලි දෙක
මීදුම්ට එහෙම ඒ දවස්වල ඉස්කොලෙ හවස පන්ති තිබුණා. ඉස්කෝලෙ හිටපු ගුරුවරුන්ගෙ හොඳකමට තමා ඉතින් හවස පන්තිත් දාලා විෂයනිර්දේශය ආවරණය කලේ. මේ විදිහට තිබුණු එක පන්තියක් තමා අපේ පන්තිභාර මිස්ගෙ විද්යාව පන්තිය.
මෙන්න මේ පන්ති දවසක තමා අපේ අහිංසකඌරා වගේම මීදුම් ඇතුලු පන්තියෙ අනික් පිරිස විද්යාව පාඩමට අමතරව වෙන හොඳ පාඩමකුත් ඉගෙනගත්තේ.
අපි කට්ටිය ඉතින් දිග කලිසං අයියලනේ. ඒ නිසා කොට කලිසං කාලෙ වගේ උදේට ක්රිකට් ගහන්නෙ නෑ. මොකද කලිසම ජරා උණොත් කෙල්ලෙක්වත් බලන්නෙ නෑනේ.කට්ටිය එහෙම හිතුවට ඉතින් මේ සෙට් එක දිහා ඒ දවස්වල මැස්සෙක්වත් බලන්නෙ නෑලු.ඒ කොහොම උණත් ඉතින් උදේ පාන්දර කට්ටිය කරන්නෙ පිට්ටනිය ගාව තියෙන සුපුරුදු අඹ ගහ ගාවට වෙලා ජෝන් සීනාගෙ වැඩයි, vice city වල අලුතෙන් හම්බුණු password ගැනයි, එක එක චිත්රපට ගැනයි කතා කර කර ඉන්න එක.ඒ දවස්වල හිට් උනේ එව්වා. crysis series, mostwanted , assasin's creed series, battlefield series එතකොට එන්න හිතලවත් තිබ්බෙ නෑ
එදා හවස විද්යාව පන්ති තියෙන්න තිබ්බ දවසක්. අර මානවිකාවියගෙ ගෙදරට කෝල් කරලා දවස් දෙක තුනක් ගතවෙන්නැති,මෙන්න උදේ පාන්දර අපේ ඌර එනවා අඹ ගහ යටට හොම්බත් ඇද කරගෙන.
"ආ ගුඩ් මෝනිං මචං, මොකෝ නිකං අවුලෙන් වගේ ?"
"ගුඩ් තමා බන්, මටනම් බෑඩ් මෝනිං"
"ඇයි බන්, මොකෝ අවුල?"
"අද නම් අම්බානක කන්න වෙනවා මට"
"මොනවද ? කොකිස්ද නැත්තං කැවුම්ද ? හැබැයි තාම ලඟපාතක අවුරුදුනම් නෑ"
"ජෝක් නෙවේ බන්. කන්න වෙන්නෙ ගුටි"
"ඉතින් වටේ යන්නෙ නැතුව කියපන් මොකෝ අවුල කියලා"
"උඹලා දන්නවනෙ අර චිංචි මානවිකාව"
"කවුද අර උඹේ එකයි පණහේ කෑලි කෑල්ලනේ"
"ඔව් බං. වෙන කවුද"
"ඉතිං ඉතිං මොකෝ කේස් එක?"
"ඒකිට වෙන එකෙක් ඉන්නවා බන්."
"ආ ඒකද මේ මූණ නිකන් පරණ සත පහ වගේ හදාගෙන්න ඉන්නේ?"
"නෑ බං, ඒකිට එකක් නෙවේ, හැටක් හිටියත් එකයි මට"
"එහෙනම්?"
"ඒකිගෙ කොල්ල අද මට ගේමක් සෙට් කරලා. දවල් 2ට ටවුන් එකේ ස්ටෑන්ඩ් එකට එන්න කිවුවා."
"ආ එහෙම කෝමද අපේ කොල්ලෙක්ට ගහන්න දෙන්නේ හහ්..."
ඕන්න ඉතින් අපේ කට්ටිය තුල සැඟවෙලා තිබ්බ පුරුෂ ශක්තිය එලියට පැන්නා. දිග කලිසං උණත් ඔලුවට ගහලා තිබ්බ නිසා ඒක තවත් දෙගුණ තෙගුණ උණා. එදා දවසම ඉතින් කට්ටිය අර කොල්ලගේ සෙට් එකට පන්න පන්න ගහන එක ගැන තමා කතා කලේ. පන්තියේ හිටපු චන්ඩීන් යැයි නම් ලබපු අයගේ මෙහෙයවීමෙන් සටන සැලසුම් කෙරුනා. කවදාවත් සෙට් වලියකට මුහුණපාල නැති මීදුම්නුත් මේකට සෙට් උණා. මොකද ඒ දවස්වල මිනිහගෙ ඔලුවටත් ඔය දිගකලිසං උණ ගහලයි තිබ්බෙ.
ඌරගෙ සතුරා මීදුම්ගෙ පුරේම වෙන ඉස්කෝලෙක එකෙක්. කට්ටිය මිනිහා ගැන දන්න එකම තොරතුර උගෙ ඉස්කෝලෙ විතරයි. එන ඕන එකෙක්ට අපි බය නෑ කියන උදාර වාක්ය පෙරටුකොටගෙන සටන සැලසුම් කරපු මීදුම්ගෙ පන්තියෙ හැමදෙනාම (ගෑණු ළමයි නැතුව) ඕන්න ඉස්කෝලෙ ඇරුණු ගමන් දඩි බිඩිගාලා අදාල සටන් පොලට දිව්වා. මොකද හවස විද්යාව පන්තිත් තියෙනවනේ. ඒකට පරක්කු වෙනවට වඩා හොඳයි වහ කන එක. මොකද මීදුම්ගෙ පන්තිභාර මිස්ට කවමදාවත් ම චූට්ටක්වත් කේන්තියන්නෙ නෑලු.( ඇත්තම කිව්වොත් ඒ තමා ඉස්කෝලෙටම හිටපු සැරම මිස්)
...මතු සම්බන්ධයි...
Saturday
ඌරෙක් නිසා 1 _ එකයි පනහේකෑලි දෙක
ඕන්න යාලුවනේ කාලෙකට පස්සේ මීදුම් ආයෙත් ආවා. එයාට පොත්පත් වල වැඩ ඒ කිව්වෙ ඉතින් අධ්යාපනික වැඩ ගොඩාක් ආවා එක දිගටම. ඒකයි සිත්තම් අඳින්න ඉස්පාසුවක් නැති උනේ. ඒ ගැන විස්තර ඉස්සරහට කියන්නම්කෝ.
අද මීදුම් කියන්න යන්නේ එයාට ඉස්කෝලෙ යන කාලෙ උනු එක්තරා අකරතැබ්බයක්. අකරතැබ්බය ඇත්තටම උණේ මීදුම්ට නෙවේ. එයාගෙ පන්තියේ හිටපු යාළුවෙකුට. එහෙම කිව්වට ඉතින් පන්තියේ හිටපු ගොඩක් අය ඒ යාළුවා නිසා නියම කට්ටක් කෑවා. ඉස්කෝලෙ යන කාලෙ කන තරමක් කටු කන්නෙ යාළුවො නිසානෙ නේද යාළුවනේ. ඒකට අපි කිව්වෙ 'බොකු ෆිට්' එක කියලා. ඒ කියන්නෙ බොක්කෙන් ම ෆිට්.මේ සිද්ධිය උනේ මීදුම් පොඩි පෙළ කරන්න ආපු අළුතම වගේ. ඒ කාලෙ මීදුම්ගෙ සෙට් එකට අමුතු අමුතු උණවල් ගහලයි තිබ්බෙ. මොකද ඒ කාලෙ තමා මීදුම් එහෙම 'කොට කලිසං' කාලෙන් 'දිග කලිසං' කාලෙට පැන්නේ.ඔය කාලෙට ඉතින් කොහොමත් කාට කාටත් එක එක උණවල් හැදෙනවනේ. මොකද අවුරුදු දහයක් විතර 'කොට කලිසං' ඇඳලා එක පාරටම 'දිග කලිසමට' බැස්සම අමුතුම අය්යා පාර්ට් එකක් ඔලුවට වදිනවා. හරියට නිකං කටුස්සගෙ කරේ රත්තරං බැන්ඳාවගේ.
ඔව්ව ඉතින් කොහොමත් බොහොම සාමාන්ය දේවල්.
ඒ කාලෙට කට්ටියට හැදෙන එක උණක් තමයි මේ පවුලක් පන්සලක් ගොඩනගාගන්න ඕන කියන එක. අතේ සතපහ නැති උනාට මොකද දිග කලිසම ඇඳගත්තම සමහරුන්ගෙ හිතේ ඔක්කොම හරි කියලා. මෙන්න මෙහෙම හිතපු කෙනෙක් තමා 'ඌරා'. (මිනිහගේ සැබෑ නමේ සාරයෙන් මිදුම්ලා එහෙම ගොඩනගාගත්තු නම තමයි 'ඌරා' කියන්නෙ. මෙහෙම කිව්වට මොකෝ මිනිහගෙ ඇඟේ මස් කලඳක් නෑ.)
ඌරා අපිත් එක්ක ඉන්න ගමන් හී සර පාර විදලා තියෙන්නේ අපිට වඩා වයසින් අඩු පන්තියක හිටපු මෙනෙවියකට. මේ මෙනෙවියත් එසේ මෙසේ එක්කෙනෙක් නෙවෙයි. අමුතුම ඇවතුම් පැවතුම් තිබුණු මානවිකාවක්.
මේ මෙනෙවියට හිටියා නියම ම යාළුවෙක්. ඔලුවටත් වඩා ලොකු කණ්නාඩි දෙකක් දැම්ම නිසා කට්ටියට එයාවත් හොඳට නෝට්. මේ දෙන්නා එකට තමා කොහේ ගියත් යන්නේ.
කොහේ ගියත් කිව්වට ඉතින් මේ දෙන්නගෙ වැඩේ ටොයිලට් යන එක.
එක එක පීරියඩ් එකක් ඉවර වෙනකොට ම මෙන්න ඩබල ටොයිලට් යනවා. ඒ ගියාට ටොයිලට් එක ලඟට ගිහින් මුන් දෙන්නා ආයෙත් හැරිලා එනවා මීදුම්ගෙ යාළුවෝ ඕනි තරම් දැකලා තියෙනවලු. පස්සෙ තමා කට්ටියට මීටර් උනේ දිග කලිසම් ඇන්දෙ නැති උණාට ඒ මානවිකාවියන්ටත් පවුලක් පන්සලක් වෙන්න ඕනය කියන අධිෂ්ඨානය ඇවිත් කියලා. කට්ටියටම පේන්න තමයි මේ නිතරම එහා මෙහා යන්නේ. මොකද එයාල ඉන්න පන්තියේ ඉඳන් අර මම කිව්ව ගමන යනකොට ඉස්කෝලෙන් සැලකිය යුතු ප්රමාණයක් ආවරණය කරන්න ඒ දෙන්නට පුලුවන්. පස්සෙ පස්සෙ මේ දෙන්නට කට්ටිය ගහපු පට්ටම තමා 'එකයි පණහේ කෑලි දෙක' කියන එක.මොකද කට්ටිය හිතන් හිටියේ මුන් දෙන්න හරි ලාබයි කියලා. පස්සෙයි තෙරුණේ හිතපු තරම්ම ලාබත් නෑ කියලා.
ඉතින් ඔන්න අපේ 'ඌරා' මේ දෙන්නගෙන් අර කණ්නාඩි නොදාපු මානවිකාවියට තමන්ගෙ හද මඬලේ බුර බුරා නැගෙන පිවිතුරු වූ අවංක නිසසල නිකැළැල් සිතුවිල්ල පවසලා. කෙල්ල මේකට පැන්න ගමන් "බැහ්" කියලා. ඒ ඉතින් කොහොමත් ඒ වර්ගයේ හැටිනේ.
අපේ ඌරත් පසුබට වෙලා නෑ. ඌත් එඩිතරව නොපැරදී මුහුණ දීලා. කොහොම කොහොම හරි මානවිකාවියගෙ ගෙදර ෆෝන් නම්බර් එක හොයාගෙන රෑ ජාමෙ කෝල් එකකුත් දීලා. අපේ ඌරගෙ ඌරු කමට මක් කරන්නද. යන්තම් උගේ වෙලාවට අනික් පැත්තෙන් කතා කරලා තියෙන්නෙත් අර මානිවිකාවියමයි. මූට දිව උලුක් වෙලා කතා කරගන්න බැරිව "හක් බික් බුක් බග් බග්" කියලා තප්පුලලා. කොහොම කොහොම හරි අර මානවිකාවිය කටහඬ අඳුනගෙන.
"හහ්, තමුසෙට කරන්නම් වැඩක්" කියලා කට් කරලා.
...මතු සම්බන්ධයි...
Monday
Tuesday
ඈ
හැඟීම
Subscribe to:
Posts (Atom)
