Thursday

ඌරෙක් නිසා 2 _ එකයි පනහේකෑලි දෙක


මීදුම්ට එහෙම ඒ දවස්වල ඉස්කොලෙ හවස පන්ති තිබුණා. ඉස්කෝලෙ හිටපු ගුරුවරුන්ගෙ හොඳකමට තමා ඉතින් හවස පන්තිත් දාලා විෂයනිර්දේශය ආවරණය කලේ. මේ විදිහට තිබුණු එක පන්තියක් තමා අපේ පන්තිභාර මිස්ගෙ විද්‍යාව පන්තිය. 
මෙන්න මේ පන්ති දවසක තමා අපේ අහිංසකඌරා වගේම මීදුම් ඇතුලු පන්තියෙ අනික් පිරිස විද්‍යාව පාඩමට අමතරව වෙන හොඳ පාඩමකුත් ඉගෙනගත්තේ.

අපි කට්ටිය ඉතින් දිග කලිසං අයියලනේ. ඒ නිසා කොට කලිසං කාලෙ වගේ උදේට ක්‍රිකට් ගහන්නෙ නෑ. මොකද කලිසම ජරා උණොත් කෙල්ලෙක්වත් බලන්නෙ නෑනේ.කට්ටිය එහෙම හිතුවට ඉතින් මේ සෙට් එක දිහා ඒ දවස්වල මැස්සෙක්වත් බලන්නෙ නෑලු.ඒ කොහොම උණත් ඉතින් උදේ පාන්දර කට්ටිය කරන්නෙ පිට්ටනිය ගාව තියෙන සුපුරුදු අඹ ගහ ගාවට වෙලා ජෝන් සීනාගෙ වැඩයි, vice city වල අලුතෙන් හම්බුණු password ගැනයි, එක එක චිත්‍රපට ගැනයි කතා කර කර ඉන්න එක.ඒ දවස්වල හිට් උනේ එව්වා. crysis series, mostwanted , assasin's creed series, battlefield series එතකොට එන්න හිතලවත් තිබ්බෙ නෑ

එදා හවස විද්‍යාව පන්ති තියෙන්න තිබ්බ දවසක්. අර මානවිකාවියගෙ ගෙදරට කෝල් කරලා දවස් දෙක තුනක් ගතවෙන්නැති,මෙන්න උදේ පාන්දර අපේ ඌර එනවා අඹ ගහ යටට හොම්බත් ඇද කරගෙන.
"ආ ගුඩ් මෝනිං මචං, මොකෝ නිකං අවුලෙන් වගේ ?"
"ගුඩ් තමා බන්, මටනම් බෑඩ් මෝනිං"
"ඇයි බන්, මොකෝ අවුල?"
"අද නම් අම්බානක කන්න වෙනවා මට"
"මොනවද ? කොකිස්ද නැත්තං කැවුම්ද ? හැබැයි තාම ලඟපාතක අවුරුදුනම් නෑ"
"ජෝක් නෙවේ බන්. කන්න වෙන්නෙ ගුටි"
"ඉතින් වටේ යන්නෙ නැතුව කියපන් මොකෝ අවුල කියලා"
"උඹලා දන්නවනෙ අර චිංචි මානවිකාව"
"කවුද අර උඹේ එකයි පණහේ කෑලි කෑල්ලනේ"
"ඔව් බං. වෙන කවුද"
"ඉතිං ඉතිං මොකෝ කේස් එක?"
"ඒකිට වෙන එකෙක් ඉන්නවා බන්."
"ආ ඒකද මේ මූණ නිකන් පරණ සත පහ වගේ හදාගෙන්න ඉන්නේ?"
"නෑ බං, ඒකිට එකක් නෙවේ, හැටක් හිටියත් එකයි මට"
"එහෙනම්?"
"ඒකිගෙ කොල්ල අද මට ගේමක් සෙට් කරලා. දවල් 2ට ටවුන් එකේ ස්ටෑන්ඩ් එකට එන්න කිවුවා."
"ආ එහෙම කෝමද අපේ කොල්ලෙක්ට ගහන්න දෙන්නේ හහ්..."

ඕන්න ඉතින් අපේ කට්ටිය තුල සැඟවෙලා තිබ්බ පුරුෂ ශක්තිය එලියට පැන්නා. දිග කලිසං උණත් ඔලුවට ගහලා තිබ්බ නිසා ඒක තවත් දෙගුණ තෙගුණ උණා. එදා දවසම ඉතින් කට්ටිය අර කොල්ලගේ සෙට් එකට පන්න පන්න ගහන එක ගැන තමා කතා කලේ. පන්තියේ හිටපු චන්ඩීන් යැයි නම් ලබපු අයගේ මෙහෙයවීමෙන් සටන සැලසුම් කෙරුනා. කවදාවත් සෙට් වලියකට මුහුණපාල නැති මීදුම්නුත් මේකට සෙට් උණා. මොකද ඒ දවස්වල මිනිහගෙ ඔලුවටත් ඔය දිගකලිසං උණ ගහලයි තිබ්බෙ.
ඌරගෙ සතුරා මීදුම්ගෙ පුරේම වෙන ඉස්කෝලෙක එකෙක්. කට්ටිය මිනිහා ගැන දන්න එකම තොරතුර උගෙ ඉස්කෝලෙ විතරයි. එන ඕන එකෙක්ට අපි බය නෑ කියන උදාර වාක්‍ය පෙර‍ටුකොටගෙන සටන සැලසුම් කරපු මීදුම්ගෙ පන්තියෙ හැමදෙනාම (ගෑණු ළමයි නැතුව) ඕන්න ඉස්කෝලෙ ඇරුණු ගමන් දඩි බිඩිගාලා අදාල සටන් පොලට දිව්වා. මොකද හවස විද්‍යාව පන්තිත් තියෙනවනේ. ඒකට පරක්කු වෙනවට වඩා හොඳයි වහ කන එක. මොකද මීදුම්ගෙ පන්තිභාර මිස්ට කවමදාවත් ම චූට්ටක්වත් කේන්තියන්නෙ නෑලු.( ඇත්තම කිව්වොත් ඒ තමා ඉස්කෝලෙටම හිටපු සැරම මිස්)

...මතු සම්බන්ධයි...